ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව විස්සයි 20 තරගාවලිය ජය ගනියි

0
SL vs IND 3rd T20 - ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව විස්සයි 20 තරගාවලිය ජය ගනියි
ඉන්දීය කණ්ඩායම සමග පැවති තෙවැනි හා අවසන් පන්දුවාර 20 ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සතුවුනා.

ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින්.

කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී පැවති තෙවැනි පන්දුවාර 20 තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුලදී රැස්කර ගත්තේ ලකුණු 81ක් පමණයි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයා ආර් ප්‍රේමදාස පිටියේ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

දරුණු කොවිඩ් ප්‍රහාරයකට ලක්වූ ඉන්දීය කණ්ඩායම මෙම තරගයට පිවිසුනේත් නවකයින් ගොන්නක් පිරිවරාගෙනයි.

ඊයේ දිනට වඩා හොඳින් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අත තරගයේදී ක්‍රීඩා පිටියේ උසස් ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළා.

එහි ප්‍රතිඵලය වූයේ පළපුරුදු ක්‍රීඩකයින් තිදෙනෙකුගෙන් පමණක් සමන්විත ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන් එකා පස එකා හැරී ක්‍රීඩාගාරයට යාමයි.

කිසිදු ඉන්දීය ක්‍රීඩකයෙකුට පිටියේ ස්ථාවර වීමට ඉඩ නොතැබූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඔවුන්ගේ කාර්ය භාර්යය මැනවින් ඉටු කරද්දී පිටියේ පන්දු රැකීමත් ඉහළ මට්ටමක තිබුණා.

ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 5ම මුලු ලකුණු සංඛ්‍යාව 36ක් වෙද්දී බිඳවැටී තිබුණා.

ඉන්දීය ඉදිරිපෙළ පිතිකරුවන්ට ප්‍රබල පීඩනයක් එල්ල කළ වනිඳු හසරංග සිය පන්දුවාර 4 තුලදී ලකුණු 9ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබාදෙමින් ඔවුන්ගේ කඩුලු 4ක් සිය පැස තුල දමාගන්නට සමත්වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා පන්දුවාර 4ක් තුල ලකුණු 20ක් ලබාදෙමින් ඉන්දීය කඩුලු දෙකක් දවාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායමට යම් තරමක හෝ ප්‍රතිරෝදයක් එල්ලවූයේ දගපන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදෙව්ගෙන් පමණයි.

ඔහු ඉන්දීය ඉනිම නිමාවන විට නොදැවී ලකුණු 23ක් ලබාසිටියා

උප නායක බුවනේශ්වර් කුමාර් කඩුල්ල රැකගෙන ලකුණු අතරට යාමට උත්සාහ කළ ද ඔහුට සිදුවූයේ දසුන් ශානකගේ පන්දු හමුවේ ලකුණු 16කට දැවී යන්නටයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ඨ පිටියේ පන්දු රැකීම හමුවේ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 නිමාවෙද්දී කඩුලු 8කට ලකුණු 81ක් රැස් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 82ක ඉලක්කයක් ඉතිරිකර තබමින්.

ලකුණු 82ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳවැටුනේ මුලු ලකුණු සංඛ්‍යාව 23ක්ව තිබියදීයි.

පළමු පන්දුවාර කිහිපය තුල ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට බුවනේශ්වර් කුමාර් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන් සමත්වුනා.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 12කට දැවී ගිය අතර ඔහු පසුපසින් මිනෝද් භානුක දැවීගියේ ලකුණු 18ක් ලබා සිටියදීයි.

ඊයේ තරගයේදී මෙන්ම අද තරගයේදීත් සිය වගකීම් කොටස පැහැරහැරි සදීර සමරවික්‍රම දැවීගියේ ලකුණු 6ක් ලබා සිටියදීයි.

පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබාගෙන පිටියේ සිටි ධනංජය සිල්වා සමග එක්වූ වනිඳු හසරංග පන්දුවාර 15ක් තුලදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ සිව්වැනි කඩුල්ලට ලකුණු ක අඛණ්ඩ සබඳතාවක් ගොඩනගා ගනිමින්.

අවසන් මොහොතේත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ නළල රැළි ගැසූ ඉල්ලීමක් නිෂ්ප්‍රභා කළ තෙවැනි විනිසුරු ධනංජය ද සිල්වා දැවී නොගිය ක්‍රීඩකයෙකු ලෙසට තීරණය කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ලකුණ වයිඩ් පන්දුවකින් තීරණය වීමට ඉඩ හරිමින්.

ඒ අනුව දෙරට අතර පැවති තරග 3කින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය තරග 2ට එකක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ඉන්දියාව සමග තරග 3කින් සමන්විත 20යි 20 තරගාවලියකට එක්වන්නේ 2020 වසරේදීයි.

එම තරගාවලියේදී තරග 2ට බින්දුවක් ලෙස ජයග්‍රහණය අත්කර ගත්තේ ඉන්දීය කණ්ඩායමයි.

එම තරගාවලියේ එක් තරගයක් විසඳුමකින් තොරව නිමාවට පත්වුනා.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තරගාවලියකදී ඉන්දීය කණ්ඩායමක් පරාජය කරන්නේ පළමු වරටයි.

මීට පෙර අවස්ථා 21කදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 තරගවලදී මුණගැසී ඇති අතර ඉන් අවස්ථා 14කදී ජයග්‍රහණය ඉන්දීය කණ්ඩායම සතුවුනා.

ශ්‍රී ලංකා කණ්කඩායම මේ අතරවාරයේ වාර්තාකරගෙන ඇත්තේ තරග 6ක ජයග්‍රහණයක් පමණයි. දෙරට අතර පැවති එක් පන්දුවාර 20 තරගයක් විසඳුමකින් තොරව නිමාවී තිබෙනවා.

එමෙන්ම 2019 වසරේ පකිස්ථානයේ සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති පන්දුවාර 20 තරග 3ම ජයග්‍රහණය කළේ තරග 3ට බින්දුවක් ලෙස පකිස්ථානයට එරෙහිව තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කර ගනිමින්.

එම තරගාවලිය තුලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන්නේ දසුන් ශානකයි.

ඔහුගේ නායකත්වය යටතේම ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීම විශේෂ සිදුවීමක්.