බදියුදීන් රෝහලේ දී පානයට දුන් බෙහෙත් විසිකළ ආකාරය හෙළිවේ

0
Rishad in National Hospital - බදියුදීන් රෝහලේ දී පානයට දුන් බෙහෙත් විසිකළ ආකාරය හෙළිවේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී අදාළ දැරිය මියගිය දිනට පසුදින ඇතිවූ අසනීප තත්ත්වයක් මත රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

එහිදී ඔහු වෙනම වැසිකිළියක් භාවිතා කර ඇති අතර ඔහු සෑම දිනකම එය භාවිත කිරීමට යන අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඒ පිළිබඳව විමසිල්ලෙන් සිට තිබේ.

ඒ අනුව අද දිනයේදී ඔහු වැසිකිළියට ගොස් ඇත්තේ සැක සහිත ලෙස කොළ කැබැල්ලක් සිය අත්ල මත රහසිගතව ගුලි කරගෙන බව නිරීක්ෂණය වී ඇත.

පසුව වැසිකිළිය තුළට ගිය මන්ත්‍රීවරයා තමන් අත වූ කොළ කැබැල්ල එහි වූ සුළ0 කවුලුවෙන් පිටතට විසිකර තිබේ.

ඒ අවස්ථාවේදී ඒ අසල සිටි බුද්ධි නිලධාරීන් විසින් එය අහුලාගෙන පරීක්ෂා කිරීමේදී ඒ තුළ වූ බෙහෙත් පෙති කිහිපයක් සොයාගෙන ඇත.

අනතුරුව මන්ත්‍රීවරයා සිටි 52 වැනි වාට්ටුව භාර වෛද්‍යවරයාට අදාළ බෙහෙත් පෙති සහ මන්ත්‍රීවරයාව ඉදිරිපත් කිරීමෙන් පසුව අනාවරණ වී ඇත්තේ ඔහුට පානය කිරීමට ලබාදෙන බෙහෙත් පෙති මෙලෙස ඉවතට විසිකර ඇති බවය.

අනතුරුව මන්ත්‍රීවරයාගේ ප්‍රතිකාර අවසන් කර ඔහුව නැවත වතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යෑමට වෛද්‍යවරයා විසින් නිර්දේශ කර තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යනු ලැබීය.