එන්නත ගත්තද ඔබෙන් ඔබේ දරුවාට වෛරසය බෝවිය හැකියි

0
Children - එන්නත ගත්තද ඔබෙන් ඔබේ දරුවාට වෛරසය බෝවිය හැකියි

කුඩා දරුවන් සිටින නිවෙස්වල වැඩිහිටියන් නිවසින් එළියට ගොස් පැමිණෙන සෑම විටම පිරිසිදු වී දරුවන් ළගට යෑම ඉතාමත් වැදගත් බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා පවසයි.

අද පස්වරුවේ කොවිඩ් ව්‍යාප්තිය පිළිබද දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා…..

වැඩිහිටියෝ හිතනවා එන්නත ලැබුනම ඒයාලට ලොකු ආරක්ෂාවක් තියෙනවා කියලා. ඒ පුද්ගලයාට රෝගී තත්ත්වය ඇතිවීමේ ආරක්ෂාවක් තියෙනවා. නමුත් ප්‍රධාන ප්‍රශ්නය තියෙන්නේ එගොල්ලන්ගෙන් අනිත් අයට රෝගය බෝ කිරීමේ හැකියාව සියයට සියයක්ම නවතින්නේ නැහැ.

ඒ කියන්නේ යම්කිසි වැක්සින් එකක් ලබාගත්තු පුද්ගලයෙකුගේ ශරීරයට එහෙමත් නැත්නම් ශ්වසන පද්ධතියට රෝගකාරක විෂබීජ ඇතුළු වුනොත් ටික දවසක් ඔහුගේ ශ්වසන පද්ධතියේ රෝග කාරක තියෙන්න පුළුවන්. ඒ අතරතුර කාලයේදී ඔවුන් වටේට මේ රෝගී තත්ත්වය පතුර වන්න පුළුවන්.

කොච්චර වැක්සින් ගත්තත් ගෙදරින් එළියට යන සියලුම දෙනා හොදට පිරිසිදු වෙලා පවුලේ සාමාජිකයින් ආශ්‍රය කරනවා නම් ඒක තමයි ඉතාමත් වැදගත්.

සමහර වැඩිහිටියෝ හිතනවා අපේ දරුවන් එළියට යන්නේ නෑ, එයාලා ඉන්නේ ගෙවල් ඇතුළටම වෙලා කියලා. ඒ නිසා එයාලට මේ රෝගය වැළදෙන්නේ නැහැ කියලා. හැබැයි දරුවන් ඇතුළේ හිටියට ගෙවල්වල ඉන්න වැඩිහිටියෝ එළියට යනවා, බඩු බාහිරාදිය ගන්න යනවා. ඒ එළියට ගිහිල්ලා එන හැම අවස්ථාවකම විෂබීජ තියෙන්න පුළුවන්. ඒ නිසා කොයි පුද්ගලයෙකු හරි නිවසින් එළියට ගිහින් නැවත එනකොට සුපුරුදු පරිදි තමන් හොදින් පිරිසිදු වෙලා, වෙනත් ඇදුමක් ඇදගෙන දරුවන් ළගට යනවා නම් තමයි ඉතාමත් වැදගත් වන්නේ.

හුගක් වෙලාවට මේ විෂබීජය තියෙන්නේ අපේ මුහුණේ. අපේ මේ නාසය ආශ්‍රිතව. ඉතිං අපි අනවශය විදිහට මුහුණවල් ළං කරලා කුඩාදරුවන්ව ඉඹීම කරන දේවල් මේ කාලේ අඩුකරනවා නම් හොදයි.