අපි එදා බයිසිකල් පැද්දෙ ඉන්ධන වැඩි කළාට විරුද්ධව නෙවෙයි – කංචන විජේසේකර

0
Bicycle : අපි එදා බයිසිකල් පැද්දෙ ඉන්ධන වැඩි කළාට විරුද්ධව නෙවෙයි - කංචන විජේසේකර

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විස්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. මෙම විවාදයේ ප්‍රධාන මාතෘකාවක් වන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමයි.

විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ජනතාව මහත් අසීරුතාවයට පත්ව සිටින බවයි. කෙසේ නමුත් මිල ඉහළ දැමීම හැර වෙනත් කිසිදු විකල්පයක් නොමැති බවත්, ඒ නිසා අකමැත්තෙන් හෝ එම තීරණය ගැනීමට සිදු වූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

පසුගිය යහපාලන රජය සමයේ ඉන්ධන මිල ඉහළ දැමූ අවස්ථාවකදී එවකට විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් පාපැදිවල නැගී පාර්ලිමේන්තුවට පැමිණි ආකාරය පිළිබඳවද අද විවාදයේදී සමගි ජන බලෙව්ගයේ මන්ත්‍රීවරුන් සිහිපත් කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ එය ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සිදුකළ විරෝධයක් නොවන බවයි. එදා මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු මන්ත්‍රීවරුන් විරෝධය දැක්වූයේ ඉන්ධන බෙදාහැරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට යහපාලන රජය අසමත් වීම සම්බන්ධයෙන් බවද විජේසේකර මහතා සඳහන් කළේය.