මෘදුකාංග ඉංජිනේරුවාගේ සිරුර නිවාස සංකීර්ණය පාමුල

0
Dead Body - මෘදුකාංග ඉංජිනේරුවාගේ සිරුර නිවාස සංකීර්ණය පාමුල

තලාහේන හල්බරාව ඕකිඩ් උද්‍යානය සුපිරි නිවාස සංකීර්ණයක පදිංචිව සිටි මෘදුකාංග ඉංජිනේරුවරයකුගේ සිරුර එම නිවාස සංකීර්ණය පාමුල වැටී තිබියදී හමුවූ බව මුල්ලේරියාව පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාලඹේ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවකු ලෙස සේවය කළ කවින් ලක්සාන් බණ්ඩාර ගුණරත්න (26) තරුණයාය.

මහල් 12 ක නිවාස සංකීර්ණයේ නමවෙනි මහලේ මියගිය තරුණයා ,මව හා සොයුරිය සමඟ පදිංචිව සිට ඇතැයි පොලිසිය කියයි.

ඉරුදින සොයුරිය රැකියාවට ගොස් නිවසට පැමිණෙන අවස්ථාවේදී මියගිය තරුණයා මෙන්ම මව ද නිවසේ සිට ඇති අතර ඔවුන් රාත්‍රි ආහාර ගෙන 11.30 ට පමණ නින්දට ගොස් ඇති බව පොලිසිය කියයි.

මියගිය තරුණයා නිවාස සංකීර්ණයේ පාමුල ගසක් යට වැටී සිටින බවට.අලුයම මවගේ ජංගම දුරකථනයට ලද පණිවුඩයක් අනුව මව සහ සොයුරිය එම ස්ථානයට ගොස් තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම පණිවුඩය ජංගම දුරකථනය හරහා මව වෙත ලැබෙන තෙක් ඒ පිළිබඳ කිසිවක් ඔවුන් නොදැන සිට ඇති බව මව සහ සොයුරිය ලබාදුන් ප්‍රකාශයක සඳහන් වෙයි.

තරුණයා නිවාස සංකීර්ණයේ පාමුල බිම් ඇතුරුම් ගල් මත උඩුබැලි අතට වැටී සිටි අතර හිස දෙසින් විශාල ලේ ධාරාවක් ගලා ගොස් තිබූ අතර අතකට සහ පාදයකට බරපතළ තුවාල සිදුවී තිබූ බව පොලිසිය කියයි.

එම ගසේ කුඩා අත්තක් ද එම ස්ථානයේ වැටී තිබූ බව පොලිසිය කියයි.

මියගිය තරුණයා පදිංචි නිවසේ ආලින්දයට (බැල්කනියට) පිටස්තර කිසිවෙකුට පිටතින් ඇතුළුවිය නොහැකි ආකාරයෙන් සුදු යකඩ ආවරණයක් ඒ වටා ඉදි කර තිබෙන බවත් තරුණයා බැල්කනියෙන් පිටතට පැන්නාද ? වැටුණා ද යන්න ස්ථිර ලෙස කිව නොහැකි බවත් පොලිස් නිළධාරියා වැඩිදුරටත් පැවසීය.