අද (14) සිට පළාත් අතර සීමිත බස්රථ සහ දුම්රිය ධාවනය ආරම්භකර තිබේ.

0
අද (14) සිට පළාත් අතර සීමිත බස්රථ සහ දුම්රිය ධාවනය ආරම්භකර තිබේ.

අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අවසර හිමිවන පරිදි අද (14) සිට පළාත් අතර සීමිත බස්රථ සහ දුම්රිය ධාවනය ආරම්භකර තිබේ.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිර්දේශයන්ට යටත්ව මෙම ප්‍රවාහන සේවා ක්‍රියාත්මකය.

කොවිඩ් – 19 ව්‍යාප්තිය පාලනය සඳහා පනවා තිබූ සංචරණ සීමා ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගැනීමත් සමග මෙම පියවරයන් ගෙන තිබේ.

ප්‍රවාහන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වන බැවින් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමිත දුම්රිය හා බස් රථ කිහිපයක් යෙදවීමට පියවර ගෙන ඇති බවය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට පැමිණෙන පිරිස් මූලික කරගනිමින් මෙම සේවා පවත්වාගෙන යන බවය.

දුම්රිය ගමන්වාර 14ක් හඳුන්වා දී ඇති අතර උදෑසන දුම්රිය 7ක් කොළඹ බලා පැමිණේ.

එම දුම්රිය නැවත සවස් කාලයේදී කාර්යාල දුම්රිය ලෙස ගමනාන්තයන් වෙත ධාවනය කෙරේ.

බෙලිඅත්ත සහ ගාල්ලේ සිට දුම්රිය 2ක්, මහනුවර සිට දුම්රිය 2ක්, මහව සිට දුම්රියක් එලෙස ධාවනය කෙරේ.

හලාවත දක්වා දුම්රියක්, රඹුක්කන දක්වා දුම්රියක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.