පිළියන්දල නගරයේ පළතුරු වෙළෙන්දෙක් කොවිඩ් ආසාදනයෙන් මරුට

0

පිළියන්දල පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 42 ක් හුදෙකලා බවින් ඉවත් කිරීමට ගත් තීරණය පිළිබඳව සිද්ධි අධ්‍යයනයක් සිදුකරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කිරීමට පියවර ගැනුණේ පසුගිය දෙවැනිදායි.

කෙසේ වෙතත් පැය 24 ක් ගතවීමටත් පෙර ග්‍රාම නිලධාරී වසම් 10 ක් හැර සෙසු ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණා.

එම තීරණය තම අනුදැනුමෙන් තොරව සිදුවූ බවට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ අතර, චෝදනාව එල්ල වී ඇත්තේ අමාත්‍ය ගාමිණී ලොකුගේටයි.

ඊයේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ පිළියන්දල ප්‍රදේශයෙන් වන අතර, එම සංඛ්‍යාව 122 ක්.

මෙලෙස රෝගීන් අඛණ්ඩව ඉහළ යමින් පවතින පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කිරීමට ගත් තීරණය ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තාක්ෂණ කමිටුවක් පත් කළ අතර, එහි නියෝජිතයින්  ඊයේ එම ප්‍රදේශයට  ගොස් සොයාබැලීමක් ද සිදු කළා.

කෙසේ වෙතත් මේ පිළිබඳව දැනටමත් සිද්ධි අධ්‍යයනයක් ආරම්භ කර ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

මේ අතර පිළියන්දල පොදු වෙළඳසැලේ පළතුරු වෙළඳසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු හදිසියේ මියගොස් ඇති අතර, පසුව අනාවරණ වුණේ ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවටයි.

ඒ පිළිබඳව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනි සමන්තිකා විජේසුන්දර අදහස් දක්වමින් සඳහන් කළේ පිළියන්දල ප්‍රදේශයට සංචරණ සීමා පැනවීම සිදුකළ යුතු බවයි.