බළධාරීන්ගේ නොසැලකිල්ල නිසා නිලානි රත්නායකගේ ඔලිම්පික් සිහිනය බොඳ වෙයි

0
Nilani Rathnayake - බළධාරීන්ගේ නොසැලකිල්ල නිසා නිලානි රත්නායකගේ ඔලිම්පික් සිහිනය බොඳ වෙයි
ජූලි අග ටෝකියෝ නගරයේදී ආරම්භවීමට නියමිත 2020 ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගිවීමට සූදානමින් සිටි, මීටර් 3000 බාධක ඉසව්වේ ජාතික ශූරිය වන නිලානි රත්නායකට අවස්ථාව අහිමි වී ඇති බව වාර්තා වේ.

ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ පළමු තේරීම් තරගයේදී තම ඉසව්ව සඳහා භාවිතා කරන කඩුලුවල උස හදිසියේ වෙනස් කර තිබීම හේතුවෙන් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබී‍මේ අවස්ථාව අහිමි වූ බවයි. ඔලිම්පික් උළෙල සඳහා තේරා ගන්නා කෝටාවේ 34 වැනි ස්ථානය හිමි කරගෙන සිටි ඇයට අදාල තරගයේදී පරිසාධන මට්ටම ඉක්මවා යාමට නොහැකි වී තිබේ.

නිලානි රත්නායක තබා තිබෙන සටහන…..

මුලින්ම සුභ පතනවා ඔලිම්පික් වරම් ලැබූ මගෙ රටේ සිංහයින්ට. ඒක හැමෝගෙම ලොකුම සිහිනය…

2021 පටන් ගන්නවාත් එක්ක මම මගේ සිහිනය පස්සෙ දිව්වා, ඒ වෙද්දි මම කෝටා රෑන්ක්වල 34 වන තැන හිමි වෙලා තිබූ නිසා. මේ වසරේ පලමු තේරීම් තරගයට සහභාගි වුනේ ලොකු බලාපොරොත්තුවක් සමග. ඒත් අවාසනාවන්ත විදියට මට මගේ රේස් එක මම හිතපු ටයිමින්වලට දුවන්න බැරි වෙනවා. ඒකට හේතුව මගේ බාධක 5 ම මගේ දුවන ප්‍රමාණයට වඩා උස්සලා තිබීම නිසා. එතකොට ඔක්කොම 35.

ඒකෙන් මම ලොකු ආබාධයකට ලක් වෙනවා. සති 2ක් විතර කාලයක් කකුලට බෙහෙත් කරනවා. ඒකෙන් මගේ පුහුණුවීම් අතරමග නවතිනවා. ඒත් ආපහු මම බොහොම පොඩි කාලයකින් National championshipවලට සහභාගි වෙලා 9.53 ට දුවනවා. මට එදා මීට වඩා එක තත්පරයක් දුවාගන්න පුළුවන් වුනා නම් මටත් අද ඔලිම්පික් සිහිනය සැබෑ කරගන්න තිබුනා.

අවුරුද්ද මුල ප්ලෑන් කරලා ලකුණු හදා ගන්න පුළුවන් තරගයක් වත් දුන්නා නම්, එක්කො මගෙ කඩුළු උස්සලා නොතිබුනා නම් ජාත්‍යන්තර තරගයක් ඕන වෙන්නෙ නැහැ. අවුරුදු ගාණක මගෙ දහඩිය මහන්සිය. ගෙදරත් අමතක කරලා ආසාවෙන් ආද⁣රයෙන් හැමදේම කළා. කිසිම ක්‍රීඩිකයෙක්ට මෙවන් අසාධාරණයක් සිදු නොවේවා. මාව ආදරයෙන් බලා ගත්ත මගෙ යුද හමුදාව, මගේ පවුල, මගෙ සර්ගෙ පවුල, අනික් සියලු දෙනාටමත්, මුහුණු පොතේ මා වෙනුවෙන් සුභ පතපු සියලු දෙනාටමත් මම හදවතින් ස්තුතිවන්ත වෙනවා.

මම ඔලිම්පික් යනවට ආසාවෙන් බලා සිටි සියලු දෙනාගෙන් මම සමාව ඉල්ලනවා. මට ඒක කර ගන්න බැරි වුනා, මට සමාවෙන්න…

කෙසේ නමුත් මීට සතියකට පමණ පෙර ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නිලානි රත්නායක ඔලිම්පික් පරිසාධන මට්ටම සම්පූර්ණ කර ඇති බැවින් ඇය ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින බවයි.