බ්‍රිස්ටල් පිටියට වැටුණු වර්ෂාව ශ්‍රී ලංකාවේ ගෞරවය රැකදෙයි

0
Sri Lanka Team - බ්‍රිස්ටල් පිටියට වැටුණු වර්ෂාව ශ්‍රී ලංකාවේ ගෞරවය රැකදෙයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට එංගලන්තය සමත්වුණා.

දෙරට අතර ඊයේ පැවැති තුන්වන සහ අවසන් තරගය වර්ෂාව නිසා අතහැර දැමීමටයි සිදුවුණේ.

බ්‍රිස්ටල්හි පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 41 යි එක් පන්දුවක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 166 ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස දසුන් ශානක නොදැවී ලකුණු 48 ක් රැස් කරගත්තා.

ඉන් අනතුරුව පිටියට වර්ෂාව ඇද හැලීමත් සමඟ තරගය යළි ආරම්භ කිරීමට හැකියාව ලැබුණේ නැහැ.

මේ හේතුවෙන් අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට ඊයේ හැකි වුණා.

ඒ ප්‍රසාද ලකුණු 5ක් හිමි වීම හේතුවෙන්. ඒ අනුව කණ්ඩායම් 13ක් තරග කරන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව මෙතෙක් අවසන් ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකාව මේ වන විට 11 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාව තරග 9කට ක්‍රීඩා කර එක් ජයග්‍රහනයක් පමණක් ලබා ඇති අතර, පරාජය වූ තරග ගණන 7ක්. එමෙන්ම මෙම තරගාවලියේ පළමු තරග දෙක ජයගත් එංගලන්තය අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ශ්‍රේණි ගතකිරීම්වල දෙවන ස්ථානයේ සිට පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

එහි පළමු ස්ථානයේ රැඳී සිටියේ බංග්ලාදේශයයි.

නවතම ලෝක කුසලාන ලීග් ශ්‍රේණිගත කිරීම් අනුව පෙරමුණේ සිටින එංගලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු 65ක් ලබා ගැනීම සඳහා තරඟ 12කට එක් වී තරග හයක් ජයග්‍රහණය කර තරග පහක් පරාජය වී තිබෙනවා.

ස්ථානගත කිරීමේ දෙවන ස්ථානයේ සිටින බංග්ලාදේශ කණ්ඩායම ප්‍රසාද් ලකුණු 50ක් රැස් කර ගෙන ඇත්තේ තරග නවයකට එක්වී ඉන් තරග පහක් ජයග්‍රහනය කරමින්. ඔවුන් පරාජය වී ඇති තරග සංඛ්‍යාව හතරක්.

පකිස්තානය සහ ඕස්ට්‍රේලියාව මෙම ලැයිස්තුවේ පිළිවෙලින් තෙවන සහ සිව්වන ස්ථාන වල රැඳි සිටින්නේ තරඟ හයකට සහභාගි වී තරග හතරක් ජයගෙන ප්‍රසාද ලකුණු 40 බැගින් ලබා ගනිමින්.

මෙම කණ්ඩායම් දෙකම ලීග් තරගාවලිය තුළදී තරග දෙක බැගින් පරාජය වී තිබෙනවා.

ප්‍රසාද් ලකුණු සටහනේ පස්වන සහ හයවන ස්ථානවල පිළිවෙළින් පසු වන්නේය නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානයයි.

මෙම කණ්ඩායම් දෙකම ලීග් වටයේ තරග තුනකට එක් වී ඇති අතර එම තරඟ තුනම ජයග්‍රහණය කර ප්‍රසාද් ලකුණු 30 බැගින් ලබාගෙන තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රසාද ලකුණු තිහක් ලබාගෙන මෙම ලකුණු සටහනේ හත්වන ස්ථානයේ රැඳී සිටියද ඔවුන් එම ප්‍රසාද ලකුණු 30 ලබා ගැනීම සඳහා තරඟ හයකට එක්වී තරග තුනක් ජයග්‍රහණය කර තිබෙනවා.

ඔවුන් පරාජය වී ඇති තරග සංඛ්‍යාව ද තුනක්.

ප්‍රබල ඉන්දීය කණ්ඩායම මෙම ප්‍රසාද් ලකුණු සටහනේ 8 වන ස්ථානයයේ රැඳී සිටින්නේ තරග හයකට සහභාගි වී තරග තුනක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද් ලකුණු විසිනවයක් ලබා ගෙනයි.

ක්‍රිකට් ලෝක කුසලාන ලීග් ලකුණු සටහනේ නවවන සහ දහවන ස්ථානවල රැඳී සිටින්නේ නෙදර්ලන්තය සහ අයර්ලන්තයයි.

ඔවුන් ඒ වෙනුවෙන් ප්‍රසාද ලකුණු 20 බැගින් රැස් කරගෙන තිබෙනවා.

මෙතෙක් තරඟාවලිය තුළ පහළම දස්කම් පෙන්වා ඇති ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ප්‍රසාද ලකුණු සටහනේ එකොළොස් වන ස්ථානයේ රැඳී සිටින්නේ තරග 9කට සහභාගි වී එක් තරගයක් පමණක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු දහතුනක් රැස් කරගනිමින්.

කෙසේ වෙතත් මේ වන විට මෙම ප්‍රසාද ලකුණු සටහනේ පහළින්ම සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම තරග 3කට එක්වි එක් තරගයක් ජයග්‍රහණය කර තරග දෙකක් පරාජය වී ප්‍රසාද ලකුණු 9ක් ලබා ගෙන සිටිනවා.

(hirunews.lk වෙබ් අඩවිය ඇසුරිනි)