මහ බැංකුව රුපියල් බිලියන 208 ක් එක් දිනක් තුළ අච්චු ගැහුවේ ඇයි?

0
Money - මහ බැංකුව රුපියල් බිලියන 208 ක් එක් දිනක් තුළ අච්චු ගැහුවේ ඇයි?
මෙරට ඉතිහාසය තුළ මහ බැංකුව විසින් එක් දිනක් තුළ මුද්‍රණය කරනු ලැබූ විශාලතම මුදල් ප්‍රමාණය ලෙස රුපියල් බිලියන 208 ක මුදල් ප්‍රමාණයක් පසුගිය ජූනි 28 වනදා මුද්‍රණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙමින් පවතී.

එපමණ මුදල් ප්‍රමාණයක් එකවර මුද්‍රණය කිරීම හේතුවෙන් ඉදිරියේදී රටේ ආර්ථිකය තුළ උද්ධධමනය ඉහළ යනු ඇතැයි මේ වන විට විවිධ පාර්ශව අදහස් පළකරමින් සිටිති.

එම අදහස් සම්බන්ධයෙන් මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (ජූලි 02) දින මෙලෙස පිළිතුරු සැපයුවේය.

රුපියල් බිලියන 208ක් පමණ විශාල මුදල් ප්‍රමාණයක් ඉතිහාසයේ පළමු වරට එක් දිනකදී මුද්‍රණය කළේ ඇයි?

“28 වෙනිදා චෝදනාවක් ආවා බිලියන 200ක් පමණ අච්චු ගැහුවා කියලා. 29 වෙනිදා මොක ද වුණේ? ඒ ගැන කතා කරෙන්නෙ නෑනෙ. දැන් ඔය මාධ්‍යයේ ඇවිල්ලා කතා කරපු ඔය ටාසන්ලා කියන්නෙ ඔන්න 28 වන දා මෙහෙම අච්චු ගැහුවා කියලා. 29 වන දා ඒක රිවර්ස් වුණා. එතකොට මොක ද ඒ ගැන කතා නොකර ඉන්නේ? මොක ද ප්‍රශ්නයක් තියනව ද ඒ ගැන? දැක්කෙ නැද්ද ඒක?”

මෙලෙස මුදල් මුද්‍රණය කිරීමේ සැබෑ හේතුව කුමක්ද?

“28 වන දා සිදුවෙච්ච දේ තමයි හැම අවුරුද්දෙ ම, ශ්‍රී ලංකාවේ මුදල් අච්චු ගැසීම කියලා කියන්නේ මහ බැංකුව විසින් රජයේ සුරැකුම්පත් තියන ප්‍රමාණය. රජයට අවුරුද්ද මුලදී සෑම මහ බැංකුවක් ම ලෝකේ හුඟක් තැන්වල මේක සිදු වෙනවා provisional advance කියලා එකක් දෙනවා. ඒ තමයි රටේ අයවැයෙන් වියදම් කිරීමට බලාපොරොත්තු වෙන මුදලින් 10%ක් පමණ මුදලක් ඒ රජයේ වැඩ කටයුතු කිරීම සඳහා ඒ වසර තුළදී 10%ක් මහ බැංකුව ලබා දෙනවා as a advance.ඒ කියන්නේ තාවකාලික අත්තිකාරමක් වශයෙන්. ඒක මාස 06කින් පියවන්න අවශ්‍යයි.

දැන් එතකොට වැඩ කටයුතු ඔහොම කරගෙන කරගෙන යන කොට මාස 06කින් ඕනෑ ම අවස්ථාවක සිදු වන දේ තමයි රජයට ඒ අවස්ථාවේදී ඒක පියවීමට ගැටලුවක් වෙනවා. ඒ නිසා හැම අවුරුද්දෙ ම ජූනි මාසෙ 28 වෙනිදා විතර වෙනකොට රජය කරන්නේ, අර auditor general කියන දේත් අපි පිළිගන්න ඕනි නිසා මහ බැංකුවට කියනවා කරුණාකරලා තවත් සුරැකුම්පතක් නිකුත් කරන්න දවසකට. දවසකට නිකුත් කරලා ඒ මුදල අපිට ලබාදෙන්න. ඒ මුදලින් අපි අර provisional advance එක settle කරන්නං. Settle කරා ම අපිට ඊළඟ දවසේ නැවත වරක් අපිට මේ provisional advance එක ලබාදෙන්න. ඔන්න ඕකයි සිදුවෙලා තියෙන්නේ.”

සෑම වර්ෂයක ම මෙවැනි තත්ත්වයක් උදාවනවා ද?

“මේක මේ 2021 පමණක් සිදුවෙච්ච දෙයක් නෙවේ. මේක හැම අවුරුද්දෙ ම, මමත් මහ බැංකුවේ අවුරුදු 09ක් හිටියා. ඒ කාලය තුළත් ඕක සිදුවුණා. ඔය විදියට ම තමා ඕක වෙන්නේ. දැන් ඔය කෑගහන අයත් ඕක කරලා තියෙනවා. ඕක නොකරපු දෙයක් නෙවේ. මේක මෙතනදි මේක මේ උලුප්පලා පෙන්නන්න හදන්නේ, දැන් ඔන්න මුදල් අච්චු ගැහුවා, දැන් ඔන්න තවත් ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා.

ඉතින් ජූනි මාසේ 28 වෙනිදා දැකපු දේ ජූනි මාසේ 29 දා රිවර්ස් වෙනවා දැකපු නැති එක තමා මට තියෙන ලොකු ම ප්‍රශ්නෙ.”

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ මහ බැංකුව විසින් මෙපමණ මුදල් ප්‍රමාණයක් දිනකදී මුද්‍රණය කළේ ඇයි?

“මේ කාලය තුළදී මං පිළිගන්නවා වැඩිපුර මුදලක් සාමාන්‍යයෙන්ට වඩා මුදල් මහ බැංකුව විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත්වලට ආයෝජනය කරලා තියෙනවා කියලා. ඒක සාමාන්‍යයෙන්ට වඩා වැඩියෙන් සිදුවුණු දෙයක්. ඔව්.

නමුත් ශ්‍රී ලංකාවේ පමණක් නෙවේ. ලෝකේ හැම රටක් දිහා ම බැලුවොතින් මේ කාලය ඇතුළෙදි මේ කොවිඩ් වසංගතය තිවෙන අර්බුධයට මුහුණ දීම සඳහා අලුතෙන් මුදල් නිර්මාණය කිරීමට හැම මහ බැංකුවක් ම වගේ පිවිසිලා තියෙනවා. අමෙරිකාවේ Ped Reserve කියන බැංකුවත් ඒකට පිවිසිලා තියෙනවා. අපිට වඩා ඉතා දැවැන්ත මුදලක් ඒ අයත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී මේක අපේ රටට ආවේණිකම දෙයක් නෙවෙයි. හැම රටක ම වගේ මේක සිදුවෙලා තියෙනවා.”

මෙපමණ මුදල් මුද්‍රණය කිරීම නිසා උද්දමනය වැඩි වේවි ද?

“දැන් බොහෝ දෙනෙක් දෙන තර්කෙ තමයි, මේ වගේ මුදල් වැඩිපුර සංසරණයට යෙදුණා ම සමහරවිට උද්දමනය වැඩිවීමක් වෙන්න පුළුවන් කියලා. ඔව්, ඒකත් මං පිළිගන්නවා. ඒක තමයි සාමාන්‍ය තියරි එක. නමුත් මෙතනදී ඒ තියරි එකට ම ඇබ්බැහි වෙන්වෙ නැතිව හිතුවොතින් මෙතන එක රටකවත් උද්දමනය වැඩිවෙලා නැත්තේ, මොකද අර demand එක ඒ කියන්නේ තියන ඉල්ලුම තවමත් කොවිඩ් වසංගතය නිසා අඩු මට්ටමක පවතින්නේ. ඉතින් ඒ නිසා එහෙම අවදානමක් නැහැ. ඒ නිසා දැනට මේ තත්ත්වය මෙහෙමම යන්න පුළුවන්.”

යම් විදියකින් රට තුළ උද්දමනය වැඩි වුණොත් මොකද කරන්නේ?

“තව මතු කාලයකදී අපි දැක්කොතින්, මහ බැංකුව සහ රජය ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනි. එහෙම තත්ත්වයක් මතුවෙනවා නම් මේ උද්දමනය නැවත වරක් හිස ඔසවනවා කියන තත්ත්වයට අපි දැකකොතින් ඒක නැවත වරක් අඩු කරගැනීමට අපි කටයුතු කරන්න වෙනවා.

එතකොට ඒ අවස්ථාවලදී උද්දමනය වැඩි වෙන කොට පොලී අනුපාතය වැඩි වෙන බව තමා සාමාන්‍ය න්‍යාය. එතෙන්ටත් අපි යොමු වෙන්න පුළුවන්. අපි දැනට එතන space එකක් තියනවා. ඒ space එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ලෝකෙ හැම රටකටත්ඒ space එක දැනටමත් තියෙනවා. ඒක තමයි අපිට තියන මෙවලම්. ඒ මෙවලම් පාවිච්චි කරන්න තාම කාලය ඇවිල්ලා නැහැ. අවශ්‍යතාවයක් වෙච්ච වෙලාවක උද්දමනය වැඩි නොවන විදියටත් ඒක පාලනය කරගන්න පුළුවන් මෙවලම් මහ බැංකුවට තියෙනවා. රජයටත් ඒ ගැන උපදෙස් ලබා දෙන්නටත් පුළුවන්.”

සබැඳි පුවත – වැඩිම මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ශ්‍රී ලංකා මහබැංකුව වාර්තාවක් තබයි

(මව්බිම වෙබ් අඩවිය ඇසුරිනි)