සයීඩ් අජ්මාල් පහතට දමා රංගන හේරත්ව බංග්ලාදේශයේ දඟ පන්දු පුහුණුකරු ලෙස තෝරා ගනී..!

0
Sri Lanka's Rangana Herath appeals unsuccessfully for the wicket of India's Ajinkya Rahane during their second cricket test match in Colombo, Sri Lanka, Thursday, Aug. 3, 2017. (AP Photo/Eranga Jayawardena)

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වමත් දඟ පන්දු යවන්නා වන රංගන හේරත් බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස පත්කර ඇතැයි බංග්ලාදේශයෙන් ලැබෙන ආරංචි වලින් කියැවේ. දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා ලෙසින් රංගන හේරත් පත්කර තිබෙන අතර ඔවුන්ගේ පිතිහරඹ පුහුණුකරුවා වශයෙන් දකුණු අප්‍රිකානු ජාතික ඇෂ්වෙල් ප්‍රින්ස් මහතා පත්කරනු ලැබ ඇත.

මීට පෙර ඒ සම්බන්ධයෙන් රංගන හේරත් මහතාගෙන් කරන ලද විමසීමකදී ඔහු කියා සිටියේ තමන් සහ බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් අතර සාකච්ඡා පැවැත්වෙමින් පවතින බවයි.

“ඒ ගැන සාකච්ඡා කෙරෙමින් තියෙනවා. ඒත් තවමත් අවසන් තීරණයකට ඇවිත් නෑ.. ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමගත් වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා කෙරෙමින් ඉන්නවා. ඒත් දෙපාර්ශ්වයටම එකඟ විය හැකි තත්ත්වයක් නොතිබූණ නිසා ශ්‍රී ලංකාවෙන් පිටත තිබෙන අවස්ථා ගැන මම උනන්දු වෙනවා” යයි හේරත් මහතා මේ මස මුලදී පැවසීය.
බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු දඟ පන්දු පුහුණුකරුවා ලෙස කටයුතු කළ ඩැනියෙල් විටෝරී මහතා වෙනුවට රංගන හේරත් මහතා පත්කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකාවේදී පැවැති තරග දෙකකින් සමන්විතවූ ටෙස්ට් තරගාවලියේදී බංග්ලාදේශ පිලේ දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස සොහෙල් ඉස්ලාම් මහතා පත්කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය තීරණය කළේය. ක්‍රීඩකයන්ගෙන් ඔහුට ප්‍රමාණවත් සහයෝගයක් ද ලැබුණ නමුත් සිය බිරිඳ දරු ප්‍රසූතියට සූදානම් වීම නිසා නිවාඩු ලබාගැනීමට නියමිත හෙයින් ඔහුට සිම්බාබ්වේ සමගින් පැවැත්වෙන තරගාවලියට එක්විමට නොහැකි වනු ඇත.

බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරු තනතුර සඳහා රංගන හේරත් මහතාට අමතරව ඉන්දියාවේ සයිරාජ් බහතුල් මෙන්ම පාකිස්තානයේ සයීඩ් අජ්මාල්ද ඉල්ලුම් කර තිබිණ. එහෙත් ඔවුන් අතරින් රංගන හේරත් මහතා ඉදිරියෙන් සිටියේය.

වත්මන් බංග්ලාදේශ කණ්ඩායමේ සිටින වේග පන්දු යවන්නන්ගෙන් බහුතරය ද ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් විසින් සොයා ගන්නා ලද්දවුන්ය. ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ටතම ක්‍රිකට් පුහුණුකරුවන් වූ කාල්ටන් බර්නාඩස්, මැල්කම් පෙරේරා සහ සෙනරත් අල්විස් යන මහත්වරු වසර ගණනාවක් තිස්සේ බංග්ලාදේශ කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාවේ පුහුණුකරුවන් ලෙසින් කටයුතු කරමින් වත්මන් බංග්ලාදෙශ කණ්ඩායමේ සිටින වේග පන්දු යවන්නන් කනිෂ්ඨ අවදියේදීම සොයා ගත්හ.

ඔවුන් ජාතික කණ්ඩායමට පැමිණි පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු වූ චම්පක රාමනායක මහතාද බංග්ලාදේශ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කළේය.

දමින්ද විජේසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here