සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

0
Rice - සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවිය.

මෙරට ජනතාව මුහුණ දෙමින් සිටින පීඩිත තත්වයන් හමුවේ තවදුරටත් ඔවුන් වෙත පීඩනය එල්ල කරමින් සහල් මිළ ඉහළ දැමීමට සහල් නිෂ්පාදනකරුවන්හා වෙළෙඳුන් විසින් කටයුතු කිරීම හේතුවෙන් අමාත්‍යවරයා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.

අසාමාන්‍ය ලෙස මිළ ඉහළ නැංවීම සඳහා වී තොග හා සහල් තොග සඟවා මෙරට වෙළෙඳපොල තුළ කෘතිම සහල් හිඟයක් මවා පෑමට ගත් උත්සාහයන් සෑම අන්දමකින්ම ව්‍යර්ථ කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කළ වැඩසටහන් සඳහා ද මෙම සහල් නිෂ්පාදනකරුවන් විසින් එකඟත්වය පළ කළ ද දිගින් දිගටම කෘතිම සහල් හිඟය පවත්වා ගැනීමට කටයුතු කිරීම මෙම තීරණයට එළඹීමට හේතු විය.

දේශීය ගොවියා සහ සහල් නිෂ්පාදකයා ආරක්ෂා කිරීමේ අරමුණින් සහල් හා අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමුව ද, සහල් නිෂ්පාදකයින් හා වෙ‌ළෙඳුන් විසින් මහජනතාවගේ අවශ්‍යතාවයෙන් හා රජයේ ප්‍රතිපත්තියෙන් අනිසි ප්‍රයෝජන ගැනීමේ අරමුණින් සිදු කරන ලද මෙම මිළ ඉහළ නැංවීම තවදුරටත් පවත්වාගෙන යාම සඳහා කිසිදු ඉඩක් නොතබමින්, රජයෙන් රජයට සහල් ආනයනය කිරීමේ ක්‍රමවේදය යටතේ මෙම සහල් මෙට්‍රික් ටොන් 100,000 ආනයනය කරනු ලැබේ.