ජනතාවට බෙදාදීමට තිබූ බඩුමළු හතක් දඹුල්ලේ නිවසක

0
Rs 5000 goods - ජනතාවට බෙදාදීමට තිබූ බඩුමළු හතක් දඹුල්ලේ නිවසක
ජනතාවට බෙදාදීම සඳහා රජය විසින් ලබාදී තිබු රුපියල් තිස්පන්දහසක් වටිනා බඩු මළු හතක් දඹුල්ල – පල්ලේගම ප්‍රදේශයේ නිවසකින් සොයාගෙන තිබෙනවා.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයාට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී අදාළ බඩු මළු අද පෙරවරුවේ සොයාගැනුනු බවයි දඹුල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් ඉරේෂා මාකේවිට සඳහන් කළේ.

දඹුල්ල – පල්ලේගම ග්‍රාම නිලධාරීවරයා විසින් පසුගිය දිනෙක ඔහුගේ කාර්යාලය ඉදිරිපිට නිවසකට මෙම බඩු මළු තොගය ලබාදී ඇත්තේ හිමිකරුවන් විසින් පසුව රැගෙන යනු ඇති බවට නිවැසියන්ට දැනුම් දෙමින්.

කෙසේ වෙතත් දින විස්සකට වැඩි කාලයක් ගතව ඇතත් එය රැගෙන ගොස් නැහැ.

වසංගත තත්වයෙන් බලපෑමට ලක්වූ බොහෝ පිරිසකට බඩු මලු නොලැබුණු බවට ග්‍රාම නිලධාරිවරයාට පැමිණිලි කර ඇතත් ඔහු ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමුකර නොමැති බවට ප්‍රදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණිලි ලැබී තිබූ බවද සඳහන්.