ශානි අබේසේකර සහ SI සුගත් මෙන්ඩිස් ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණ නියෝග

0
Shani abeysekara - ශානි අබේසේකර සහ SI සුගත් මෙන්ඩිස් ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණ නියෝග
රක්ෂිත බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් වහාම ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය ගම්පහ මහාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ තමන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඔවුන් ගොණු කල පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර් ගුරුසිංහ යන විනිසුරු මඩුල්ල ඉදිරියේ අද සලකා බැලුණු අවස්ථාවේදීයි.

රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02 ක් මත ඔවුන් මුදා හරින ලෙසටයි මෙහිදී නියම කෙරුණේ.

2013 දී බම්බලපිටියේදී ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයේ සැකකරුවන් සම්බන්ධයෙන් ව්‍යාජ සාක්ෂි නිර්මාණය කළ බවට චෝදනා කරමින් ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් යන අය කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් මහේස්ත්‍රාත් අධිකරණය මෙන්ම ගම්පහ මහාධිකරණය ද ප්‍රතික්ෂේප කලා.

ඒ අනුව එම අධිකරණ වලින් ඇප ප්‍රතික්ෂේප කිරීමට නිකුත් කළ නියෝග ප්‍රතිශෝධනය කර තමන් ඇප මත මුදා හරින ලෙස ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් මහත්වරුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණා.