X-Press Pearl නැව ගිනි ගැනීමෙන් බලපෑමක් වූ ධීවරයින්ට රු. 5000ක දීමනාවක්

0
X-Press Pearl නැව ගිනි ගැනීමෙන් බලපෑමක් වූ ධීවරයින්ට රු. 5000ක දීමනාවක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්නෙන් බලපෑම් එල්ල වූ ධීවර ජනතාවටත් රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කලේ එම දීමනාව ලබාදිය යුතු පුද්ගලයින්ගේ නාම ලේඛන ලබාදෙන ලෙස ධීවර දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි.

මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික ධීවර කටයුතු අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ උපදෙස් දී තිබෙනවා.

ඒ නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සොයා බැලීමට උස්වැටකෙයියාව මුහුදු තීරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදීයි.

සමුද්‍රීය පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙසටයි රාජපක්ෂ මහතා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

මෙවැනි ආපදාවන්වලට මුහුණ දීමට අවශ්‍ය උපකරණ හා මෙවලම් මිලට ගැනීමට කටයුතු කරන්නැයි ද අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත් කල නිවේදනයක සඳහන්.