අලි සබ්‍රි රත්තරං තොගයක් සමග මාට්ටු

0

අලි සබ්‍රි රත්තරන්

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රත්තරං තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා රේගුව විසින්.

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන විට රත්තරං කිලෝ ග්‍රෑම් 3.5ක ප්‍රමාණයක් රැගෙන ඒමේදී මන්ත්‍රීවරයා රෙගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපලේ දී යි.

අලි සබ්‍රි රත්තරන්

අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී සහය දක්වන මන්ත්‍රීවරයෙක්. පසුගිය මැතිවරණයේ දී සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් තරග කරමින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වුණා. ඔහුගේ පක්ෂය වන්නේ මුස්ලිම් ජාතික සන්ධානය යි. රාජපක්ෂ පාලනයේ දීත් රනිල් වික්‍රමසිංහ පාලනයේ දීත් ඔහු සහය දක්වන්නේ ආණ්ඩු පක්ෂයට යි.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පසුගිය කොවිඩ් සංචරණ කාලසිමාවේ දී තම හිතවතුන්ට ගමන් කිරීමට පාර්ලිමේන්තු ශීර්ෂ පාඨය යටතේ පුද්ගලික ලිපි මගින් අවසර පත් නිකුත් කර තිබුණා. මේ පිළිබදව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව එකල පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා එවක පැවසුවා.

මන්ත්‍රිවරයා විසින් පුත්තලමේ සිට වවුනියාවට යාමටත්, විවිධ අවශ්‍යතා සඳහා ගමන් කිරීමටත් තම හිතවතුන්ට එවර ලිපි නිකුත් කර තිබුණා.

මේ පිළිබඳව එවකට පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ නිමල් පෙරේරාගෙන් කළ විමසීමේ දී ඔහු සඳහන් කළේ එය කිසිඳු ලෙසකින් හෝ නීත්‍යානුකූල ලියවිල්ලක් නොවන බවයි.

පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ජී.එස්. ජයමහගෙන් ඒ සිදුවීම පිළිබඳව එකල විමසීමේ දී ඔහු කියා සිටියේ අදාළ මන්ත්‍රීවරයා මෙම සංචරණ කාලසීමාවලදී ගමන් කළ හැකි පුද්ගලයන් පිළිබඳව තමන්ගෙන් දුරකථනයෙන් විමසා සිටි බවයි. එහිදී කුඹුරුවලට හා තෝරාගත් අනිකුත් කටයුතුවලට නිසි අවසරයකින් පමණක් ගමන් කළ හැකි බව තමන් දැනුම් දුන් බව ඔහු පැවසුවා.

අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා පසුගිය මහ මැතිවරණයේදී රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් පාර්ලිමේන්තුවට පත්වුවත් විසිවන සංශෝධනය සම්මතකර ගැනීම සඳහා ආණ්ඩුවේ පාර්ශවය ගත් අයෙක්. පසුගියදා විපක්ෂයේ විරෝධය මැද සම්මත කළ ‘පෝර්ට් සිටි’ පනත් කෙටුම්පතට පක්ෂව පාර්ලිමේන්තුවේ දී ඡන්දය ප්‍රකාශ කිරීම නිසා අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා එම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කළා.

මන්ත්‍රීවරයා මැද පෙරදිග සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී රත්තරන් කිලෝ ග්‍රෑම් 3.5ක් රැගෙන ඒම නිසා මෙලෙස රේගුව විසින් රඳවා ගත් බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසනවා.

අලි සබ්‍රි රත්තරන්