තවත් මව් සෙනෙහසක කතාවක්

0
තවත් මව් සෙනෙහසක කතාවක්

තම පුතුන් දෙදෙනෙකු සසුනට පූජා කළ මවක්, කුඩා දියණිය සමග සසුන්ගත වීමට සූදානම්ව සිටින පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

මිනිසුන් මත්පැනට ලොල්වීම සහ වගකීම් පැහැර හැරීම නිසා ඔවුන්ගේ දරුවන් සහ සමීපතමයන් සදාකාලික ජීවිත ගැටලුවලට මුහුණ දෙනවා.

දුප්පත්කම ඒ හැම ගැටලුවටම ඉදිරියෙන් බලපෑම් කරන බව ද රහසක් නොවේ.

දඹුල්ල – ලේනව ගම්මානයේ පදිංචි මේ අම්මා නමින් අනුලාවතී අමරසේකර.

පාසලේ තුන්වන වසරේ ඉගෙනුම ලබන පුංචි දියණිය සමඟ ඇය මහනදම් පුරන්නට තීරණය කරන්නේ සසුනට දායද කළ තම පුතුන් දෙදෙනා අතරින්, වැඩිමහල් පුතු සිවුරුහැර දමා යළි නිවසට ඒමේ සූදානමක් පිළිබඳව අසන්නට ලැබීම හේතුවෙන්.

දුප්පත්කමෙන් මිරිකුණු අම්මා සහ නංගී දුක්විඳිමින් සිටින නිසා ඔවුන් රැක බලා ගැනීම වෙනුවෙන් සසුනට සමුදීමට උන්වහන්සේ තීරණය කර තිබෙනවා.

ආරක්ෂිත දොරක්වත් නොමැති කටුමැටි නිවසක අපහසුවෙන් වේල සරිකර ගන්නා මෙම මව තම දරුවා උපැවිදි වීම දරාගත නොහැකි නිසාවෙන්ම දියණිය සමඟ සසුනට ඇතුළත් වීමට තීරණය කර ඇති බව අපට පැවසුවා.

සැමියාගේ බීමත්කම නිසාම දරුවන් සමඟ ඇය ඔහුගෙන් ඉවත්ව ධර්මයේ පිහිට විශ්වාස කර ජීවත් වෙමින් සිටිනවා. පුතු තමන් සහ දියණිය වෙනුවෙන් එලෙස කැපවනු දැකීමට අකමැති බව ඇය පවසන්නේ අපිරිමිත දරු සෙනෙහසින්.

වෙසක්පුර පසලොස්වක පොහෝ දිනය යෙදෙන අද, අපට වාර්තා වූ මේ කතාව දහමට බැඳුණු මවකගේ සෙනෙහස පිලිබඳව මෙන්ම, බුදු සසුනට ඇතුළත්ව මහනදම් පුරන මහා සංඝරත්නයේ කරුණාව පිළිබඳව ද මනාව පැහැදිලි කරනවා. මව්පියන් ලෙස දරුවන් වෙනුවෙන් වූ යුතුකම්, වගකීම්, ඉටු කිරීම පිළිබඳව මෙන්ම, රටේ දුප්පතුන් බොහෝ දෙනා මුහුණදෙන නොපෙනෙන සමාජ ආර්ථික ගැටලු පිලිබඳව ද මේ අම්මාගේ කතාව අපට හෙළි කරනවා නොවේ ද ?

(සම්පූර්ණ උපුටා ගැනීම https://www.hirunews.lk/ වෙබ් අඩවියෙනි)