සමගි ජන බලවේග සන්ධානයට ගිය 06න්, 04ක් ආපසු හැරෙයි

0
Sajith Premadasa - සමගි ජන බලවේග සන්ධානයට ගිය 06න්, 04ක් ආපසු හැරෙයි

සමගි ජන බලවේග සන්ධානය සමග එක්වූ බව පැවසූ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ඒ සම්බන්ධයෙන් පළවන වාර්තා ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු ඊයේ (14) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී එම සන්ධානය සමග කටයුතු කිරීමට තීරණය කර තිබුණි.

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පැවසුවේ එය අනාගතයේ සුබ පෙර නිමිත්තක් බවය.

“ස්වාධීන වූ මන්ත්‍රීතුමන්ලා 6දෙනෙකුගේ කණ්ඩායමක් සමගි ජන බලවේගයත් සමග සන්ධාන ගත වීමට තීන්දුවක් අරන් තියෙනවා. එය සුබ පෙරනිමිත්තක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ වැඩපිළිවෙලට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගෙත් පූර්ණ සහයෝගය සහ ආශිර්වාදය මේ කර්තවයට ලැබෙනවා. එකම රටේ එකම පුරවැසියන් කියන ප්‍රතිපත්තිය තුළ.”

කෙසේවුවද පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ, තමන් කිසිදු විටක සමගි ජනබලවේගය සමග සම්බන්ධ වීමට තීරණය කර නොමැති බවය.

පසුව වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, තමා සමගි ජනබලවේගය සමග එක්වූ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා ද සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් යොමු කරමින් දක්වා ඇත්තේ තමා විදේශගතව සිටින බවත් සමගි ජන බලවේගය සමග සම්බන්ධ වූ බවට පළවන වාර්තා අසත්‍ය බවත්ය.

එමෙන්ම ජයරත්න හේරත් මහතා ද ප්‍රකාශ කළේ, තමන් ද සමගිජන සන්ධානයට එක්නොවූ බවයි.