බැසිල් හොර රහසේ මධ්‍යම රාත්‍රී අත්සන් කළ විදුලි ගිවිසුම අනුර සභාගත කරයි

0
Anura Tabled the Electricity Agreement Signed by Basil - බැසිල් හොර රහසේ මධ්‍යම රාත්‍රී අත්සන් කළ විදුලි ගිවිසුම අනුර සභාගත කරයි

මුදල් අමාත්‍යාංශය හා ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම අතර අත්සන් තැබුණු බවට පැවසෙන අර්බුදයට තුඩු දුන් කෙරවළපිටිය යුගදනවි විදුලිබලාගාරයේ රජය සතු කොටස් පැවරීමේ ගිවිසුම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් අද පාර්ලිමේන්තුවේ දී සභාගත කළා.

එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් අවස්ථා ගණනාවක දී විදුලිබල අමාත්‍යවරයාට සහ මුදල් අමාත්‍යවරයාට අවස්ථා ගනනාවක දී බලපෑම් කළා.

නමුත් අද දින අනුර කුමාර දිසානායක විසින් එම ගිවිසුමේ පිටපතක් සභාගත කරන තෙක් අදාළ අමාත්‍යවරුන් එම ගිවිසුමේ පිටපත් පාර්ලිමේන්තුවට ලබාදීමට කටයුතු කර තිබුණේ නැහැ.

මෙම ගිවිසුම සභා ගත කරමින් අදහස් දැක් වූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියා සිටියේ, මෙම ගිවිසුම පාර්ලිමේන්තුවට තබා කැබිනට් මණ්ඩල රැස්වීමට වත් ඉදිරිපත් නො කළ එකක් බවයි.

එමෙන්ම මෙහි දී මෙම ගිවිසුම්ට අදාළ තවත් කරුණක් හෙළිදරව් කරමින් ඔහු කියා සිටියේ, කැබිනට් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යංශයට බලය ලබා දී තිබුනේ ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමග ගිවිසුමක් අත්සන් කිරීමට වුව ද මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල ගිවිසුම්ගත වී ඇත්තේ, ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමඟ නොවන බවයි.

අනුර කුමාර දිසානායකට අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් පැවරීම සඳහා අත්සන් තබා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ලියා පදිංචි කර ඇති එන්.එෆ්.ඊ ශ්‍රී ලංකා පවර් හෝල්ඩිං නැමැති සමාගමක් සමඟයි.

මෙහි දී අදහස් දැක් වූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියා සිටියේ, ඒ අනුව මෙම ගිවිසුම අත්සන් තැබීම මුළුමනින්ම කැබිනට් මණ්ඩලය ද නොමඟ යවා සිදු කරන ලද්දක් බවට යි.

එමෙන්ම මෙම ගිවිසුමේ 13.1 (රහසිගතභාවය හා ප්‍රකාශ කිරීම) යන වගන්තිය යටතේ අදාළ ගිවිසුමේ අන්තර්ගත කරුණු හෝ ගිවිසුම වසර දෙකක් යන තුරු දෙපාර්ශවය අතර එකඟතාවකින් තොර ව රටට හෝ ජනතාවට ප්‍රසිද්ධ කිරීමෙන් වැළකී සිටිය යුතු බවට වන එකඟතාවකටත් එළඹී ඇති බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ඉදිරි ගිවිසුම් අත්සන් තැබීමේ දී එන්.එෆ්.ඊ ශ්‍රී ලංකා පවර් හෝල්ඩිංස් සමාගමට ලැදියාවක් ඇති ව එම ගිවිසුම් අත්සන් තැබිය යුතු බවටත් මෙම මතභේදකාරී ගිවිසුමේ වගන්ති‍යක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.