ප්‍රබල පාතාල නායකයකුගේ නිවසේ ගෑස් ටැංකි 3ක් උස්සලා

0
Gas Theft in Kosgoda Rana House - ප්‍රබල පාතාල නායකයකුගේ නිවසේ ගෑස් ටැංකි 3ක් උස්සලා
ප්‍රබල පාතාල නායකයකු වු කොස්ගොඩ රනාගේ තිස්සමහරාම සේනපුර ප්‍රදේශයේ පිහිටි නිවසට පැන ගෑස් සිලින්ඩර තුනක්, ත්‍රීවීල් රථයක් හා යතුරුපැදියක් ඇතුළු රුපියල් දාහතර ලක්ෂ හැත්තෑ දෙදාහකට අධික ගෘහ භාණ්ඩ සොරකම් කරන ලද සැකකරුවන් හයදෙනෙකු තිස්සමහරාම පොලිසිය විසින් පෙරේදා (28 දින) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකරුවන් තිස්සමහරාම සේනපුර, ගෝනගමුව ගඟසිරිපුර, දෙබරවැව කිරිඳීනදි මාවත, මැදවැලෑන යන ප්‍රදේශයන්හී පදිංචි අවුරුදු 25ත් 36ත් අතර වයස්වල පසුවන අය බව පොලිසිය සඳහන් කළේය.

කොස්ගොඩ රනාගේ බිරිඳගේ නමින් ඇති ඉඩමක ඇති සුවිශාල නිවසෙහි විශාල තාප්පයක්ද ඉදිකර තිබේ, එම තාප්ප උඩින් සැකකරුවන් පැන ගොස් සී.සී ටී.වී. කැමරා උපකරණ කඩා දමා නිවසෙහි දොරගුළු කඩාගෙන ගෙට ඇතුළු වී තිබේ.

යතුරු පැදිය හා ත්‍රීවීල් රථයට අමතරව සොරකම් කරන ලද ගෘහ භාණ්ඩ අතර වතුර මෝටරයක්, ජල පොම්පයක්, ගෑස් ලිපක්, ගෑස් සිලින්ඩර තුනක්, රූපවාහිනි යන්ත්‍රයක්, මහන මැෂිමක්, සී.සී.ටී.වී. කැමරා පද්ධතිය සවිකරණ ලද පරිගණක යන්ත්‍රයක්ද විය.

ඔවුන් විසින් සොරා ගන්නා ලද ත්‍රීවීල් රථය කොටස්වලට ගලවා විකිණීමට සූදානම් කර තිබියදී පොලිසිය සොයා ගෙන තිබේ.

පුද්ගල ඝාතන කිහිපයක් හා මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට ප්‍රශ්න කිරීමට පොලිසියට අවශ්‍යව සිටින කොස්ගොඩ රනා විදේශ රටකට පැන ගොස් හෝ අතුරුදන්ව සිටින අතර, ඔහු හා ඔහුගේ බිරිඳ, දරුවන්, රනාගේ මව ජීවත්ව සිට ඇත්තේ මෙම නිවසෙහි බව කියති.

පැමිණිල්ලකට අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිමල් ලොකු ගමගේ මූලිකත්වයෙන් සිදුකරන ලද පරීක්ෂණවලට අනුව පැය විසි හතරක් යන්නට මත්තෙන් සැකකරුවන් හය දෙනෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට තිබේ.