මාස්ක් දාගන්න උපදෙස් දුන් නිසා එල්ල වූ අමානුෂික ප්‍රහාරය

0
face mask - මාස්ක් දාගන්න උපදෙස්

අවදානම් තත්ත්වය පිළිබඳව සලකා බලා මුව ආවරණ පලඳින ලෙසට කළ දැනුම් දීමකට උරණව කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ රියැදුරකුට අමානුෂික ලෙස පහරදුන් සැකකරුවන් පස්දෙනකු අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් මාදම්පිටිය විජය සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචි සැකකාර තරුණයන් පිරිසක් එසේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඉහත සඳහන් නිවාස සංකීර්ණයේ පදිංචි පැමිණිලිකාර රියැදුරා ඉකුත් 16දා පස්වරු 8.30ට පමණ සේවා කාලය අවසන් කර එහි ඉහළ මාලයක පදිංචිව සිටින සිය මවට ආහාර පාර්සලයක් දීමට යන අතරවාරේ එහි කොරිඩෝවක සිටි තරුණයන් පිරිසකට  මාස්ක් දමා ගන්නා ලෙසට දන්වා ඔවුන්ගේ ඡායාරූපයක්ද ගෙන ඇති බව වාර්තා වනවා.

එසේ අවවාද කළ පැමිණිලිකාර රියැදුරා ඉහළ මාලයේ සිටි සිය මවට ආහාර පාර්සලය දී එම නිවෙසින් පිටතට ආ අවස්ථාවේ ඒ අසලට පැමිණ ඇති එකී තරුණයන් පිරිස හා ඔවුන්ගේ වැඩිහිටියන් කිහිපදෙනකු “උඹ ෆොටෝ ගත්තේ ඇයි? අපි මාස්ක් දාන්නේ නෑ. උඹට පුළුවන් දෙයක් කරපන්” යනුවෙන් පවසා එම රියැදුරාට අමානුෂික අන්දමින් පහරදී තිබෙනවා.