කොළඹ උසස් පෙළ සිසුන්ට ෆයිසර් එන්නත ලබාගත හැකි ස්ථාන

0
Pfizer Vaccine for Colombo A/L Students - කොළඹ උසස් පෙළ සිසුන්ට ෆයිසර් එන්නත ලබාගත හැකි ස්ථාන

කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම කලාපවල අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් ට එළඹෙන සිකුරාදා දිනයේ දී ෆයිසර් එන්නත ලබාදීමට නියමිතය.

වයස අවුරුදු 18 හා 19 වයස්වල සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම එළඹෙන 21 වනදා පාසල්වලදී සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් සකස් කර තිබේ.

එහි නියමු ව්‍යාපෘතිය ලෙස මෙම වැඩසටහන එළඹෙන 15 වන සිකුරාදා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතය.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශ, අතිරේක ලේකම්, එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසා සිටියේ, සියලුම සිසුදරු දැරියන් හැඳුනුම්පත සමග එන්නතකරණ වැඩසටහනට සහභාගී විය යුතු බවය.

“අපොස උසස් පෙළ විභාගයට එක සැරයක් පෙනී සිටි දරුවන්ටත් ප්‍රථම වතාවට දැන් පෙනී ඉන්න දරුවන්ටත් තමයි මේ එන්නත අපි ලබාදෙන්න බලාපොරොත්තු වෙන්නේ. ලබන සුමානෙන් පටන් ගන්න ඉස්සෙල්ලා 15 වෙනිදා පටන් ගන්නවා. කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම කලාපවල. හෝමාගම, කොළඹ, ජයවර්ධනපුර හා පිළියන්දල කලාපයේ. දුවලා පුතාලා හොඳට මතක තියා ගන්න ඔයාලගේ හැඳුනුම්පත අරන් එන්න. ඔබගේ විදුහල්පතිතුමාගෙන් විමසන්න පුළුවන් කොතනට ද එන්න ඕනේ කියලා. මොකද සමහර සෙන්ටර්ස් අපි පාසල් 3 – 4 කට එක සෙන්ටර් එකක් දාලා තියෙනවා. විශේෂයෙන් අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්න දරුවන් ට එන්න වෙන්නේ අර සෙන්ටර් එකට. සෞඛ්‍ය අමාත්‍යාංශ හා අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් සයිට් එකෙත් මේ නිවේදනය පළ කරනවා.”

එන්නත් ලබාගත හැකි ස්ථාන,

*හෝමාගම කලාප කාර්යාලය

*කොළඹ කලාප කාර්යාලය

*ජයවර්ධනපුර කලාප කාර්යාලය

*පිළියන්දල කලාප කාර්යාලය

(adaderana.lk වෙබ් අඩවිය ඇසුරිනි)