සහල් පාලන මිල වැඩි වන ලකුණු

0
Rice Maximum Price Increase - සහල් පාලන මිල වැඩි වන ලකුණු

සහල් පාලන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වන යෝජනාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ඉදිරිපත්ව තිබෙනවා.

වෙළඳපොළේ පවතින සහල් හිඟයට විසඳුමක් ලෙස මෙලෙස පාලන මිළ ඉහළ නංවන ලෙසට එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පසුගිය දින කිහිපය තුළදිම යෝජනා කළ බවයි එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා සඳහන් කළේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් සිදු කළ විමසිමකදී එහි ප්‍රකාශකයෙතු කියා සිටියේ සහල් පාලන මිළ ඉහළ දැමිම සඳහා අනුමැතියට යොමු කර ඇති අතර, ඊට මේ වනතෙක් අනුමැතිය ලැබි නොමැති බවයි.

ඊට අනුමැතිය හිමි වුවහොත්, දැනට කීරී සම්බා කිලෝග්‍රැමයක් සඳහා රුපියල් 125 ක්, සම්බා කිලෝග්‍රැමයක් සඳහා රුපියල් 103 ක්, නාඩු කිලෝග්‍රැමයක් සඳහා රුපියල් 98 ක් සහ රතු කැකුළු කිලෝග්‍රැමයක් සඳහා රුපියල් 95 ක්ව පවතින සහල් පාලන මිල යම් ප්‍රමාණයකින් ඉහළ යනු ඇති.

මේ අතර, වී සහ සහල් සඳහා පනවා ඇති පාලන මිළට එරෙහි විරෝධතා පැවැත්වෙන්නේ ඇතැම් පුද්ගලයින්ගේ මෙහෙයවිම මත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළා.

මේ වනවිට වෙළදපොළ තුළ ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩවල ද යම් හිඟයක් මතුව තිබෙනවා.

පාරිභෝගිකයින් සහ වෙළෙන්දන් පවසන්නේ පිටිකිරි වලට අමතරව සහල් වර්ග කිහිපයක සහ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකම හිඟයක් පවතින බවයි.

මේ අතර සමාගම් කිහිපයක් සමග ගිවිසුම් වලට එළඹීමට තමන්ට බලපෑම් එල්ල වන බව පවසමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව හිරු හාඩ් ටෝක් විශේෂාංගය සමග එක්වෙමින් පසුගියදා ප්‍රකාශ කළා.

ඒ අනුව සිය ඉල්ලා අස්විමේ ලිපිය ඊයේ භාර දුන් බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන කියා සිටියේ.

මේ අතර, කිරිපිටි, සහල්, තිරිඟු‍ පිටි සහ සිමෙන්ති මිල ඉහළ යෑම සම්බන්ධයෙන් මේ සතියේදී අවසන් තීන්දුවකට එළැඹෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න එහිදී කියා සිටියා.

(hirunews.lk වෙබ් අඩවිය ඇසුරිනි)