ඇඳිරිනීතිය ලබන මස මුල දක්වා දීර්ඝ කරන්න

0
SLMA Press Release about Lockdown - ඇඳිරිනීතිය ලබන මස මුල දක්වා දීර්ඝ කරන්න
දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝබර් මස මුල දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම සංගමය පෙන්වා දෙන්නේ පවතින සංචරණ සීමා කඩිනමින් ලිහිල් කළහොත් භයානක විපත් රැසකට මුහුණදීමට සිදුවනු ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව තවදුරටත් කොවිඩ් අධි අවදානම් එනම් රතු කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බව එම සංගමය සිහිපත් කර සිටියි.

කොවිඩ් ආසාදිතයින් තරමක් දුරට අඩුවීම හා කොවිඩ් මරණ වාර්තාවීමේ අඩුවක් දක්නට ලැබුන ද එය නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමේ ආරම්භක ප්‍රතිඵල පමණක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

කොරෝනා වසංගතය- දුර දිග බලා ගතයුතු අවැසි පියවර

අප සියලු දෙනා දන්නා පරිදි කොවිඩ් රෝගය සම්බන්ධයෙන් අප රට තවමත් අධි අවදානම් කලාපයේ (එනම් red list) සිටින රටකි. සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීම මගින් රෝගීන් සංඛ්‍යාව අඩුවීම, ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ අඩුවීම සහ මරණ සංඛ්‍යාව අඩු වීම යන කරුණු තුනම මේ මොහොතේදී අපි දැන් යන්තමින් හෝ අත්දකිමින් සිටිමු .

මෙම දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම නිසා ආර්ථික වශයෙන් ඉතාම දැඩි බලපෑමකට පත්වී ඇත්තේ සමාජයේ ඉතාම දිළිඳු පුද්ගල කණ්ඩායම් බව මනාව පැහැදිලිය. ඔවුන්ට මුහුණ පෑමට සිදු වී ඇති මෙම අති දුශ්කර තත්ත්වය අප හොඳාකාරව දන්නා නමුදු අප විසින් අමතක නොකළ යුතු දෙය නම් දැනට අප රෝගය පැතිරීම පාලනය සම්බන්ධයෙන් යම් ජයග්‍රහණයක් ලබා ඇත්නම් එය තවදුරටත් රැකගැනීම සඳහා මෙම සංචාරණ සීමා දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන බව ය. අප මෙහිදී අදහස් කරන්නේ සංචරණ සීමා දීර්ඝ කිරීමේ තීරණ ගැනීමේදී දිගුකාලීන ජයග්‍රහණයක් ලැබීමට නම් කෙටි කාලීන විසදුම් සඳහා නොයා යුතු බවයි.

රටක් වශයෙන් අප බලාපොරොත්තු විය යුත්තේ අප දැනට සිටින දැඩි අවදානම් තත්ත්වය(රතු කලාපය) යන ලේබලයෙන් මිදී දිගුකාලිනව අඩු අවදානම් සහිත තත්ත්වයක් (කොළ කලාපයට) කරා අප රට රැගෙන යාම ය. මෙහිදී තීරණ ගැනීමේ බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මේ සඳහා අවශ්‍ය කරන විශේෂඥ උපදෙස් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය යටතේ අප රටේ විශේෂඥයන් මීට කලකට පෙර දුන් උපදෙස් මාලා පිළි ගෙන තවදුරටත් සංචරණ සීමා දිගු කිරීම- එනම් අඩුම වශයෙන් ලබන මස මුල දක්වා එය දීර්ඝ කරන ලෙසයි. මෙය අප විසින් අනුමත කරන්නේ මෙම තීරණය මීට ප්‍රථම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය යටතේ අපගේ විශේෂඥයන් විසින් විද්‍යාත්මක ලෙස දත්ත විශ්ලේෂණය කිරීමෙන් කරන ලද නිර්දේශයක් බැවිනි. තවද දැනට ක්‍රියාත්මක දැඩි සංචරණ සීමා එක්වරම අහෝසි කළහොත් අප රට පුරා දැනට විශාල වශයෙන් පැතිරෙමින් පවතින ඩෙල්ටා ප්‍රභේදය මගින් රටේ නැවතත් රෝගීන් වැඩි වීම සහ එමගින් මරණ සංඛ්‍යාව ඉහළ යාම තුළින් අප දැනට සති කිහිපයකට පෙර ලැබූ අත්දැකීම නැවත අත්විඳීමට සිදුවිය හැකි බව අපගේ විශ්වාසයයි.

පාසල් ළමුන්ගේ එන්නත්කරණය සහ නැවත පාසල් විවෘත කිරීම ඉතා දැඩි සංයමයකින් යුතුව කළ යුතු දෙයකි. ළමා රෝග විශේෂඥ වෛද්‍ය වරුන්ගේ සංගමය විසින් යෝජනා කර ඇති “දැඩි අවදානම් සහිත” ළමුන්ගේ එන්නත්කරණය කිරීමේ අවශ්‍යතාව අප විසින් අනුමත කරන නමුදු සියලු පාසැල් ළමුන් එන්නත්කරණය සඳහා සුදුසු දැයි තීරණය කිරීම සඳහා දැනට අන්තර්ජාතිකව ඇති දත්ත ප්‍රමාණවත් නොවේ. එසේම දැනට ඇති දත්ත මගින් අපට තීරණය කළ හැකි වන්නේ පාසැල් ළමුන් එන්නත්කරණය කිරීම අවශ්‍ය නම්, විශේෂයෙන්ම වයස අවුරුදු 12 සහ 18 අතර කණ්ඩායම සැලකීමේදී, Pfizer එන්නත මේ සඳහා ඉතාම සුදුසු එන්නත බව දැනට යෝජනා වී ඇති බවයි. තවද, ඒ සඳහා අවසන් තීරණය ගැනීමේදී තවදුරටත් විද්‍යාත්මක දත්ත විශ්ලේෂණයකින් පසුව මෙම තීරණය ගැනීම වැදගත් බව අපි අවධාරණය කරමු.

පාසල් නැවත විවෘත කිරීමේදී සිදුවිය හැකි ප්‍රධාන අවදානම නම් ලමයින්ගේ කෙළිලොල් හැසිරීම නිසා ඔවුන් අතර “ළමුන්ගෙ කොරෝනා” කණ්ඩායමක් බිහිවීමට ඇති හැකියාවයි. මෙමගින් නැවතත් පාසල් ළමුන් හරහා, වැඩි ප්‍රමාණයකට රෝගය බෝ වීම සිදුවිය හැකි වීම තවත් අවදානමකි.

සංචාරක ව්‍යාපාරය නැවත යථා තත්ත්වයට ගෙන ඒම මෙම අවස්ථාවේදී ආර්ථික වශයෙන් ඉතා වැදගත් වන නමුත් මෙහිදී අප විසින් ඉතා විධිමත් මෙන්ම විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයක් මගින් තෝරාගත් රටවල් කිහිපයකට වඩා ලෝකයේ ඕනෑම රටකින් ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන සියලුම සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳ දැඩි විශ්වාසයක් ඇතිකළ යුතු අතර ඔවුන්ට මෙහිදී රෝගය බෝවීමේ හැකියාව ඉතා අවම බව ප්‍රත්‍යක්ෂ වීමේ ඉතා පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුය.

අපගේ අවධානයට ලක් වී ඇති අනිත් කරුණ නම් තෙවැනි මාත්‍රාවක අවශ්‍යතාව පිළිබඳව මේ දිනවල ඇති සංවාදයයි. මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස අප දැඩි ලෙස විශ්වාස කරන්නේ සමාජ සාධාරණයට මුල්තැන දෙමින් රෝගයට ගොදුරුවීමට වැඩි හැකියාවක් ඇති වයස අවුරුදු 60ට වැඩි අය සහ අනෙකුත් අතුරු ආබාධ ඇති පුද්ගලයින්ට මාත්‍රාවන් දෙකම ලබා දීමට පෙර තරුණ සෞඛ්‍ය සම්පන්න අයට තෙවැනි මාත්‍රාවක් ලබා දීම විද්‍යාත්මක සහ සමාජයීය මූලධර්මයන් ට පටහැනි වන බවයි. අප විසින් අවධාරණය කළ යුතු තව කරුණක් නම් වයස අවුරුදු 60 ට වැඩි සහ අනෙකුත් පිළිකා වැනි අතුරු ආබාධ ඇති , sinopharm දෙවැනි මාත්‍රාව ද ලබා දී ඇති අයට Pfizer හෝ වෙනත් වර්ගයක එන්නත තුන්වෙනි මාත්‍රාව ලෙස ලබාදිය යුතු බවයි.

Sinopharm මාත්‍රා දෙකම ලබා වුවද මරණයට පත් වූ සංඛ්‍යාව අනිකුත් වර්ගවල එන්නත් මාත්‍රා දෙකම ලබා මරණයට පත්වූ සංඛ්‍යාවට වඩා සුළු වශයෙන් හෝ වැඩි වීම අපගේ මෙම යෝජනාවට හේතුවක් ලෙස දක්වමු.

අවසාන වශයෙන් , සමාජයේ වයස 20 සහ 30 අතර තරුණ කණ්ඩායම් සඳහා sinopharm එන්නත ඉතා හොඳ ප්‍රතිශක්තිකරණයක් ලබාදෙන බව සෞඛ්‍ය ඉගැන්වීම් මඟින් මනාව පැහැදිලි කර දී ඔවුන්ට sinopharm එන්නත ලබාදීම මගින් ලංකාවට අවශ්‍ය කරන එන්නත්කරණ ඉලක්ක ඉතා ඉක්මනින් සපුරා ගැනීම මේ මොහොතේ දී අත්‍යවශ්‍යම කාරණයක් බව ඔවුන්ට ඒත්තු ගැන්වීම ඉතා වැදගත් බව අපි දැඩි ලෙස විශ්වාස කරමු.

– විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය