වයස 12ට වැඩි දරුවන්ට කොවිඩ් එන්නත ලබාදීම සිදුකරන බව අගමැති කියයි

0
Mahinda Rajapaksa Statement of Covid Vaccine for Children - වයස 12ට වැඩි දරුවන්ට කොවිඩ් එන්නත ලබාදීම සිදුකරන බව අගමැති කියයි

අවුරුදු 12ට වැඩි ළමුන්ට ද පියවරෙන් පියවර කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමට රජය සැලසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

හම්බන්තොට රෝහලේ ස්ථාපිත දකුණු පළාත් කොවිඩ් 19 ආසාදිත ළමා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළකළේ.

එන්නත් ලබාදීමේදී වවිධ සංකූලතා ඇති දරුවන්ට ප්‍රමුඛත්වය ලබාදෙන බව ද අග්‍රාමාත්‍යවරයා කියාසිටියා.

ගුරු විදුහල්පති අනධ්‍යන කාර්ය මණ්ඩල එන්නත් කර අවසන් වූ වහාම වයස අවුරුදු 12ට වැඩි ළමුන්ට ද පියවරෙන් පියවර එන්නත් ලබාදීම ආරම්භ කිරීමටයි රජය සැලසුම් කර ඇත්තේ.

ලොව බොහෝ රටවලට මෙම වසංගතය පාලනය කර ගැනීම අභියෝගයක් වී ඇති අතර දැනට පවතින එකම විසඳුම එන්නත්කරණය මගින් ජීවිත හානි මෙන්ම රෝගය පැතිරීම වළක්වා ගැනීම පමණක් බවයි ඔහු සඳහන් කළේ.

රටක් ලෙස එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව බොහෝ ඉදිරියෙන් පසුවන අතර එය තවත් වේගවත් කරමින් ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගත යුතු බැවින් ප්‍රමුඛත්වය ලබාදෙන්නේ ඒ වෙනුවෙන් බව අග්‍රමාත්‍යවරයා පෙන්වා දුන්නා.

රටේ සමස්ත ජනතාව පිළිබඳ අවදානය යොමු කිරීමෙන් අනතුරුව ගන්නා ඇතැම් තීන්දු ජනප්‍රිය නොවුන ද එවැනි තීන්දු ගැනීමට සිදුවන බවයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ කියාසිටියේ.

දැඩි සංචරණ සීමා පැනවීම වැනි තීන්දු සියලුදෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් තීන්දු බව ද ඔහු ප්‍රකාශ කළා.

අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙන් අවස්ථාවක රජයේ වගකීම දෙස බලා සිටිනවා මෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් තම තමන්ට පැවරෙන යුතුකම ද ඉටු කරන්නේ නම් මෙම අභියෝගය ජය ගැනීම අපහසු නොවන බවයි.