දාහතර හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදන්

0
Missing Girl in Rathnapura - දාහතර හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදන්

රත්නපුර – ඇල්ලෙගෙදර ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බවට වාර්තා වනවා.

පොලීසිය සඳහන් කළේ තම දියණිය අතුරුදන් ව ඇති බවට ඇගේ මව්පියන් විසින් කළ පැමිණිල්ලකට අනුව එම විමර්ශන ආරම්භ කල බවයි.

අදාළ දැරිය පසුගිය 2 වනදා ලිපියක් ලියා නිවසින් පිටත් ව ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

තමාට පෙම්වතුන් සිටින බවට විවිධ පුද්ගලයන් ප්‍රකාශ කළ ද තමාට එවැනි සබඳතාවයක් නො මැති බවත්, විවිධ පුද්ගලයන් පවසන එම ප්‍රකාශ තුළින් තමා කළකිරීමට පත් ව ඇති බවත් එම ලිපියේ සඳහන්.

එමෙන්ම ඇය ව සම්බන්ධ කර ගන්නා ලෙස දුරකතන අංකයක් ද අදාළ දැරිය විසින් එම ලිපියේ සටහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, නිවසින් පිටත් ව ගිය දැරිය ඉන් පසු වෙනත් දුරකතන අංකයක් ඔස්සේ අමතා තමා ව බේරාගන්නා ලෙස ඇයගේ මව්පියන්ට දැනුම් දී ඇති අතර, කෙසේ වෙතත් එම සියලු දුරකතන අංක මේ වන විට ක්‍රියා විරහිත බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව, මේ වන විට දැරිය ලිපියේ සටහන් කළ අංකයේ සහ ඇය පසු ව ඇමතුම ලබා දුන් අංකයේ දුරකතන සංඥා වාර්තා ලබා ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව පොලීසිය ප්‍රකාශ කළා.

අදාළ දැරියගේ පෙර පෙම්වතා බවට ප්‍රකාශ කෙරුණු කුරුවිට ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගෙන් ද සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඒ අනුව අදාළ සිසුවියගේ අතුරුදන් වීමට එම තරුණයාගේ සම්බන්ධයක් නො මැති බවට තහවුරු වී ඇති බවයි.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ රත්නපුර – ඇල්ලෙගෙදර ප්‍රදේශයේ පදිංචි, රත්නපුර විදුහලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක්.