රයිස් කුකරයෙන් විදුලි සැර වැදි මාස 9ක් වයසැති බිළිඳිය මරුට

0
Baby Dead - රයිස් කුකරයෙන් විදුලි සැර වැදි මාස 9ක් වයසැති බිළිඳිය මරුට

බත් පිසින විදුලි උඳුනට විදුලිය කාන්දු වීමෙන් වූ හදිසි අනතුරකින් විදුලි සැර වැදී දික්වැල්ල බතීගම විලහේන ප්‍රදේශයේ පදිංචිව සිටි මාස 09ක් වයසැති බිලිඳකු පෙරේදා (09 වැනිදා) ජීවීතක්ෂයට පත්ව ඇති බව දික්වැල්ල පොලීසිය පවසයි. එසේ මරුමුවට පත්ව ඇත්තේ තරුෂ හිමාල් වීරසිංහ (මාස 09) දරුවෙකි.

බිලිඳා අනෙක් දරුවන් දෙදෙනා සමග නිවෙස තුළ සිට ඇති අතර මව උදෑසන ආහාර සකස් කරමින් මේසය උඩ තබා තිබු බත් පිසින විදුලි උදුන දරුවන් බිමට අදීවී යන බිය නිසා වැඩි ආරක්ෂාවට බිම තබා ඇතැයි පොලිසිය කියයි.උඳුන් වයර් ආධාරයෙන් විදුලි පේනුවට සම්බන්ධ කිරීමෙන් පසු ප්‍රධාන වයරය හා අනෙක් වයරය විදුලි පේනුවට සම්බන්ධ කර ඇති බවත් අත් වයරය සම්බන්ධ නොකර බත පිසීමට පටන් ගෙන ඇතැයි මූලික පරීක්ෂණ වලින් හෙළිවී යැයි පොලිසිය සඳහන් කරයි.

නිවසේ ඉදිරිපස මව කුඩා කඩයක් පවත්වාගෙන යන අතර දරුවන් නිවසින් පිටතට ඒම වළක්වා ගැනීම සඳහා උලුවස්සට ලී කැබැලි දෙකක් ගසා බාධකයක් ද සවි කර තිබිය දී වැඩිමල් දරුවා එහි යට ලී කැබැල්ල ගලවා තිබෙන බවත් මව පරිප්පු රැගෙන ඒමට කඩයට ගිය අවස්ථාවේ දී අනතුරට පත් කුඩා දරුවා එම ගැලවී ගිය ලීය යටින් රිංගා මුළුතැන්ගෙට ගොස් ඇති බවත් පොලීසිය කියයි.

ඒ සමගම එම දරුවා බත් පිසින විදුලි උඳුනට අත තබා නැගිටීමට උත්සාහ කරදීම විදුලි සැර වැදී තිබෙන බව පොලීසිය කියයි. දරුවා ඇල්ලීමට ගිය මවට ද විදුලි සැර වැදී තිබෙන අතර ඔවුන් බතීගම රෝහලට ඇතුළත් කර බරපතළ තත්ත්වයේ පසු වූ දරුවා මාතර මහ රෝහලට මාරු කර එවීමෙන් පසු මරුමුවට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.අනතුර සිදු වන අවස්ථාවේ දී දරුවාගේ පියා නිවසේ සිට නොමැත. ඔහු පොල් ලී ඇහිලීමේ කටයුත්තකට ගොස් ඇතැයි පොලිසිය කියයි.

විදුලි බල මණ්ඩලයේ නිලධාරින් මේ පිළිබඳව පරික්ෂා කිරිමේ දී හෙළි වී ඇත්තේ විදුලි පේනුව අසල දී අතහැර තිබු අර්ත් වයරය ප්‍රධාන විදුලි වයරයට සම්බන්ධ වීමෙන් විදුලි කාන්දු වීම සිදු වී ඇති බවයි.මිය ගිය බිලිඳුගේ හදිසි මරණ පරික්ෂණය මාතර නාගරික හදිසි මරණ පරික්ෂක ටී.එම්. ලලිත් ද සිල්වා මහතා ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව තිබිණි දික්වැල්ල පොලීසියේ ස්ථානාධිපති ජී.ඩබලිව්. ටී. ඉෂාන් මහතාගේ උපදෙස් මත කොස්තාපල් 63119 නානායක්කාර මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.