රනිල්ගේ ප්‍රකාශයට හමුදාපති දුන් පිළිතුර (වීඩියෝ)

0
Genaral Shavendra Silva Reply to Ranil Wickramasinghe - රනිල්ගේ ප්‍රකාශයට හමුදාපති දුන් පිළිතුර (වීඩියෝ)
කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අහෝසි කල යුතු බවට ඇතැම් දේශපාලනඥයන් සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරනවා.

එම කාර්ය සාධක බලකායේදී තනි තීන්දු නොගැනෙන බවත් පාර්ශව රැසක අදහස් සළකා අවසන් තීන්දු ගැනෙන බවත් යුධ හමුදාපතිවරයා කියාසිටියා.

ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව කියාසිටියේ අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

“ශ්‍රී ලංකාවේ ජනතාව යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව කරනු ලබන මේ එන්නත්කරණය පිළිබඳව විශාල ප්‍රසාදයක් පළ කර සිටිනවා. එවන් අවස්ථාවක එක් පුද්ගලයෙක් පමණක් විවේචනයට ලක්කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියා ලෙස හා යුද හමුදාපතිවරයා ලෙස මගේ යුතුකමක් වෙනවා මේ ගැන පවසන්න. ඒ අනුව යුද හමුදාව, සෞඛ්‍ය අංශවලින් සිදුකරනු ලබන එන්නත්කරණය විවේචනය කරද්දි රටේ ජනතාව දැනගත යුතු කාරණය තමයි එතුමා එන්නත ලබාගත්තේ ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ මුලික රෝහල නාරාහේන්පිට රෝහලට ඇවිල්ලා අපේ එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් තමයි. එතුමාට ශ්‍රී ලංකා යුද හමුදාව තුළින් එන්නත ලබාගැනීමට අවශ්‍ය වුණානම් රටේ ජනතාවගේ එන්නත්කරණය වැරදි කියනවා නම් ඒ ගැන ජනතාව තීරණයක් ගත යුතුයි.”

මේ අතර කාර්ය සාධක බළකාගේ ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයා බවත්, එහි සෞඛ්‍ය සම්බන්ධයෙන් සිටින අමාත්‍යවරුන්, කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක්, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති හා විශේෂඥ වෛද්‍යවරුන් ද සාමාජිකයින් වන බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම නීති රීති පනවන තෙක් බලානොසිට සෞඛ්‍ය උපදෙස් පිළිපඳින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී පැවසීය.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සිදුකරන එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ කඩිනමින් එන්නත් ලබාගැනීමට කටයුතු කළ යුතු බව ද හමුදාපතිවරයා එහිදී සඳහන් කළේය.