කටින් නාසයෙන් අඩි 2ක් දිගැති කොකු පණුවන් එළියට ඇවිත් මාස දහයේ දරුවා මියයයි

0
Child Death - කටින් නාසයෙන් අඩි 2ක් දිගැති කොකු පණුවන් එළියට ඇවිත් මාස දහයේ දරුවා මියයයි

අඩි දෙකක් පමණ දිගැති කොකු පණුවන් කිහිපදෙනකු නාසයෙන් මුඛයෙන් හා ගුද මාර්ගයෙන් පිටතට පැමිණි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි මාස 10ක් වයසැති කුඩා පිරිමි දරුවකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

දරුවාගේ මියයෑම සම්බන්ධයෙන් කොළඹ හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා සමරවීර මහත්මිය හමුවේ පැවැති සාක්ෂි විමසීමකදී මෙම සිද්ධිය අනාවරණය විය. කොකු පණු රෝගය ඉතා දරුණු ලෙස උත්සන්නවීම හේතුවෙන් එසේ මියගොස් ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ගැමුණු පටුමඟ ප්‍රදේශයේ පදිංචි දරුවන් හත් (7) දෙනකුගෙන් යුත් පවුලක ළාබාලම දරුවා වන මොහොමඩ් අයියුබ් නමැති මාස දහයක දරුවෙකි.

ඉකුත් 05 වැනිදා පස්වරුවේ මෙම දරුවාගේ මුඛයෙන් අඩි 2ක් පමණ දිගැති පණුවකු පිටතට පැමිණෙනවා දුටු එම දරුවාගේ මව දරුවාව පෞද්ගලික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එම වෛද්‍යවරයා ලබාදුන් උපදෙස් අනුව දරුවාව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති බවත් හදිසි මරණ පරීක්ෂක කාර්යාලයේදී අනාවරණය විය.

දරුවා රෝහල වෙත ගෙන යෑමත් සමඟ දරුවාගේ නාසයෙන් තවත් එවැනිම ආකාරයේ අඩි 2ක් පමණ දිගැති පණුවන් දෙදෙනකු පිටතට පැමිණ ඇති බවද ඒ මොහොතේම දරුවා මියගොස් ඇති බවද සාක්ෂියේදී අනාවරණය විය.

දරුවා මළපහ කරන විට මීට පෙරද ඔහුගේ ගුද මාර්ගයෙන් මෙවැනි දිගැති පණුවන් පිටතට පැමිණෙන අයුරු දුටු බවද දරුවාගේ මව හදිසි මරණ පරීක්ෂණයේදී ලබාදුන් සාක්ෂි මඟින් හෙළි කෙරිණි.

මෙම දරුවන් ඇතුළු පිරිස කුඩා නිවෙසක ජීවත්වීම, දැඩි අගහිඟතාවෙන් යුතුවීම, නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම නිසි කලට වේලාවට පණු බෙහෙත් ලබානොදීම, මන්දපෝෂණය යන කරුණු කාරණා හේතුකොට ගෙන ඇතිවූ දරුණු කොකු පණු රෝගයක් හේතුවෙන් දරුවා අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවද හදිසි මරණ පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබිණි.

වෛද්‍ය විද්‍යාව හා සෞඛ්‍ය හුරු පුරුදු දියුණුව තිබෙන කාලයක මෙන්ම උසස් සමාජ තත්ත්වයක්් තිබෙන කාලයක අවුරුද්දකට අඩු දරුවකුගේ නාසයෙන්, මුඛයෙන් හා ගුද මාර්ගයෙන් අඩි 2ක් පමණ දිගැති කොකු පණුවන් පිටතට පැමිණීම ඇදහිය නොහැකි තත්ත්වයක් බවද මවුපියන් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් මීට වඩා සැලකිලිමත් විය යුතු බවද කොළඹ හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා සමරවීර මහත්මිය සිය හදිසි මරණ පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබිණි.

(mawbima.lk වෙබ් අඩවිය ඇසුරිනි)