මෙහෙම ගියොත් තවත් ආදාහනාගාර තමයි හදන්න වෙන්නේ

0
Upul Rohana - මෙහෙම ගියොත් තවත් ආදාහනාගාර තමයි හදන්න වෙන්නේ

මෙරට තුළ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ, දෛනිකව වාර්තා වන නව ආසාදිතයින් ඉහළයාම හේතුවෙන් ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සිදුව ඇති බවය.

අද දෙරණ “BIG FOCUS වැඩසටහන සමඟ එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඒ අනුව ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හඹා යාම හා ඔවුන් හඳුනාගැනිමේ කටයුතු සිදුකිරීමට නොහැකි වී ඇති බවය.

මේ වන විට ගම්පහ ඇතුළු ඇතැම් දිස්ත්‍රික්කවල දෛනිකව ආසාදිතයින් 1,000 ඉක්මවා වාර්තා වන බව ද ඔහු පැවසීය.

මේ හේතුවෙන් වසංගත රෝග විද්‍යා අංශයේ දෛනික ආසාදිත වාර්තා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රාදේශීය වශයෙන් ලබාදෙන දත්ත අතර පරස්පරතාවයක් පවතින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

“කියන්නේ නෑ රජයේ දත්ත බොරු කියලා. නමුත් දත්ත පිළිබඳ ගැටලුවක් තියෙනවා. තියෙන ධාරිතාවයට වාර්තාවන රෝගීන් ප්‍රමාණය එක්ක අපිට දැන් පාලනය කරන්න අමාරුයි. අපි දැනට කරන්නේ ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීම. ආශ්‍රිතයින් සියලුදෙනා සොයා යෑමේ අවස්ථාවක් නෑ මේ වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව සමඟ. අහඹු පීසීආර් පරීක්ෂණ ඇතැම් විට සිදුකරනවා මහ මඟ 100ක් ගත්විට එයින් 19දෙනෙක් වාර්තා වුණා.”

මේ අතර කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානිද සොයිසා මහත්මිය සඳහන් කර සිටියේ, කොවිඩ් වෛරසය හේතුවෙන් බහුතරයක් මියයෑම ඉතා බරපතළ තත්ත්වයක් බවට පත්ව ඇති බවය.

මේ වන විට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ ධාරිතාවය ඉක්මාව ගොස් ඇතැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

කොවිඩ් මෘත දේහ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු උපුල් රෝහණ මහතා,

“ඊයේ දින සන්ධ්‍යාවේ මට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් දුරකථන ඇමතුමක් දීලා ඔහුගේ දුක කිව්වා. රෑ එළිවෙනකල් දැන් මෘත දේහ දහනය කරනවා. ඊයේ ඒ වෙනකොට 22ක් කොවිඩ් -19 යැයි සැක සහිත මෘත දේහ දහනය කරලා තියෙනවා. වාද්දුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ඉහළ පෙළේ නිලධාරියෙකුගේ ඥාතියෙකුගේ මෘත දේහයක් ආදාහනය කර ගැනීමට මමත් කතා කරා. ඒ වෙනවිටත් ඔහුට මෘත දේහ පොරොත්තු ලේඛනයක් තියෙනවා ආදාහනය කිරීම සඳහා. මේ තත්ත්වය තවදුරටත් පවත්වාගෙන ගියොත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවත් හදලා වැඩක් නෑ. තවත් ආදාහනාගාර තමයි හදන්න වෙන්නේ කියන එක පැහැදිලියි.”

(adaderana.lk වෙබ් අඩවිය ඇසුරිනි)