කොරෝනා රෝගීන්ට හෙට සිට ගෙදරම ප‍්‍රතිකාර.. අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න…

0
Covid Positive Petients - කොරෝනා රෝගීන්ට හෙට සිට ගෙදරම ප‍්‍රතිකාර.. අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න…

කොරෝනා ආසාදිත නමුත් රෝග ලක්ෂණ නොපෙනුන පුද්ගලයන් නිවෙස් වල සිට ප්‍රතිකාර කිරීමේ ක්‍රියාවලියක් හෙට සිට ආරම්භ වෙයි. ඒ සඳහා වන මාර්ගෝපදේශ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කර තිබේ. පහත දැක්වෙන්නේ එම මාර්ගෝපදේශයයි.

COVID-19 රෝගීන්ට නිවෙස් ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම…

රැපිඩ් ඇන්ටිජන් (RAT) හෝ PCR පරීක්ෂණයකින් COVID-19 ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයන් හට නිවසේදීම ප්‍රතිකාර කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. මේ සඳහා සලකා බැලෙන්නේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන හා සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්වන ආසාදිත අයයි. යම් කෙනෙකුට විවේකීව සිටියදී හෝ සුළු ව්‍යායාමයකින් පසුව හතියක්, හුස්ම ගැනීමේ අපහසුවක් දැනේ නම් ඔවුන් මීට සුදුසුකම් නොලබන අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත යුතු වේ. එසේ නොවන වයස අවුරුදු 2ත් 65ත් අතර ආසාදිතයන්, පහත කරුණු සලකා බලා නිවසේදීම ප්‍රතිකාර ලැබීමට සුදුසු දැයි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා (MOH) විසින් තීරණය කෙරෙනු ඇත.

ආසාදිත පුද්ගලයා නිසි ලෙස පාලනය නොවූ දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, වකුගඩු රෝග හා පෙණහලු ආශ්‍රිත රෝග ආදී කිසියම් තත්ත්වයකින් පෙලෙයි නම් හෝ ප්‍රතිශක්තිය හීන වන රෝග තත්ත්වයකින් පෙළෙන  ප්‍රතිශක්තිය හීන කරවන ඖෂධයක් දීර්ඝ කාලයක් තිස්සේ ලබාගන්නා අයෙකු නම් හෝ , ශරීර ස්කන්ධ දර්ශකය 30ට වැඩි (ස්ථූල) අයෙක් නම් ඇතිවිය හැකි සංකූලතා සලකා බලා නිවසේදීම ප්‍රතිකාර ලැබීමට සුදුසු නොවන බවට තීරණය කෙරෙනු ඇත.

ආසාදිත පුද්ගලයා මෙවැනි අවදානම් තත්ත්ව වලින් පෙළෙන්නේ නැති නම්, නිවසේ අන් අයගෙන් වෙන් ව සිටීමට වෙනම කාමරයක් හා වැසිකිළි පහසුකම් සහිත අවස්ථාවන් වල දී නිවෙස් ගත ප්‍රතිකාරය සඳහා සලකා බැලේ. අවශ්‍ය විටෙක අවශ්‍ය ලෙසට උපදෙස් හා උපකාර ලබා ගැනීමට හැකි පරිදි සන්නිවේදන හැකියාව සහ පහසුකම් තිබීම ද අත්‍යවශ්‍ය කරුණක් සේ සලකනු ලැබේ.

එමෙන් ම ආසාදිතයා රැකබලා ගැනීමේ කටයුතු සඳහා නිවසේ සිටින තවත් කෙනෙකුට හෝ තමාට ම ඇති හැකියාව ද සැළකිල්ලට ගනු ඇත.

මෙලෙස නිවසේ දී ප්‍රතිකාර ලැබීමට සුදුසු යැයි සැලකෙන, එසේ ලබා ගැනීමට කැමති පුද්ගලයකු වේ නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් එවැනි පුද්ගලයන් ගේ විස්තර “නිවෙස් ගත ප්‍රතිකාර සැපයීමේ පද්ධතිය” ට ඇතුළත් කරනු ලැබේ.

ඉන් පසුව නිවෙස් ගත කෝවිඩ් ප්‍රතිකාරය සඳහා විශේෂ පුහුණුවක් ලැබූ වෛද්‍ය කණ්ඩායමක් විසින් විශේෂඥ පවුල් වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ දිනකට එක්වරක් හෝ වැඩි වාර ගණනක් දුරකථනය හරහා අසාදිත පුද්ගලයාගේ තත්ත්වය පරීක්ෂාකර බලනු ලැබේ.

අවශ්‍යතාවයක් වූ ඕනෑම විටෙක ප්‍රතිකාර සපයන වෛද්‍ය කණ්ඩායම හෝ 1390 හරහා උපකාර ලබා ගැනීමට හැකිවනු ඇත.

නිවෙස් ගත ප්‍රතිකාර කාලය තුළ ආසාදිත පුද්ගලයාගේ රෝග ලක්ෂණ කල් පවතින බවක් දක්නට ලැබේ නම් හෝ තීව්‍ර වන බවක් දක්නට ලැබේ නම් අදාළ වෛද්‍ය කණ්ඩායම් විසින් විශේෂඥ වෛද්‍යවරයෙකු සමග සාකච්ඡා කර රෝගියා රෝහල්ගත කිරීම සඳහා වහාම කටයුතු සූදානම් කරනවා ඇත.
නිවෙස් ගත රෝගීන් ,

– හැකි පමණ විවේක ගැනීම
– හොඳින් ජලය හා වෙනත් දියර වර්ග පානය කිරීම මෙන්ම
– සමබර ආහාර වේලක් ලබාගැනීමත්
ඉතාමත්ම වැදගත් වේ.

හොඳින් පාලනය වී පවතින, අධික රුධිර පීඩනය හෝ දියවැඩියාව ආදී බෝ නොවන රෝගයක් වෙත් නම් ඒ සඳහා ලබාදී ඇති ඖෂධ නිසි කලට නිසි ලෙස ලබා ගෙන එම රෝග පාලනය තවදුරටත් හොඳ මට්ටමක පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.

නිවෙස් ගත ප්‍රතිකාර කාලය තුළ , නිවසේ දී රෝගියාට ප්‍රතිකාර කරන කෙනෙකු වේ නම් මුව ආවරණ ආදි පුද්ගල ආරක්ෂණ උපකරණ නිසි ලෙස පැළඳිය යුතුවේ.

ආසාදිත බවට හඳුනාගත් PCR පරීක්ෂණය සිදුකර දින දාහතරක් සම්පූර්ණ වූවායින් පසුව ආසාදිත පුද්ගලයා කිසිදු රෝග ලක්ෂණයක් නොදක්වන්නේ නම් එදිනෙන් නිවෙස් ගත ප්‍රතිකාර කාලය අවසන් වේ.

නිවෙස් ගත ප්‍රතිකාර කාලය ඇතුළතදී නිවසෙහි වෙසෙන තවත් කෙනෙක් ආසාදිත පුද්ගලයාට සැලකිය යුතු අන්දමින් නිරාවරණය වූයේ නම් ඔහුගේ හෝ ඇයගේ නිරෝධායන කාලය (PCR positive නොවුණේ නම්) අවසන් වරට නිරාවරණය වූ දිනයේ සිට දින දාහතරකින් අවසන් වේ.

නිවෙස්ගත ප්‍රතිකාර ලැබීමට එකඟව පසුව නිරෝධායන කොන්දේසි කඩ කරමින් වගකීම් විරහිතව හැසිරෙන ආසාදිත පුද්ගලයින් වෙතොත් ඔවුන්ගේ කැමැත්ත විමසීමකින් තොරවම ( අවශ්‍ය නම් පොලිස් සහය ඇතිව ) ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන යෑමටත්, ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කෙරෙනු ඇත.

COVID -19 රෝගීන් හට නිවෙස් ගත ප්‍රතිකාර ක්‍රමයක් සැකසීම සෞඛ්‍ය පද්ධතියෙහි ධාරිතාවය මෙන්ම පුරවැසියන්ගේ සමාජ වගකීම දැරීමේ හැකියාව පිළිබඳ විශ්වාසය මූලික කොට ගන්නා ලද තීරණයකි.

වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය බිඳී යාම වැලැක්වීමට මෙම නිවෙස් ගත ප්‍රතිකාර ක්‍රමය ඉතාමත් උපකාරී වනු ඇතැයි බලාපොරොත්තු වන අතර එහි සාර්ථකත්වය රටෙහි පුරවැසියන් සතු සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයට පිළිපැදීමෙන් ශක්‍යතාවය මත රඳා පවතිනු ඇත.

අප සමඟ මෙතෙක් කල් රැඳී සිට දැනුමෙන් සන්නද්ධ වූ ඔබ එම වගකීම අකුරටම ඉටු කිරීමට උත්සුක වනු ඇති බවට අප විශ්වාස කරන්නෙමු.

– සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය