ගුරුවරුන්ට අපහාස කරන්න හැදූ ෆේස් බුක් මඩ

0
Facebook Fake News - .ගුරුවරුන්ට අපහාස කරන්න හැදූ ෆේස් බුක් මඩ

ඊයේ දිනයේ තාවකාලිකව නතර කරන්නට යෙදුණ, පසුගිය දිනවල ආන්දෝලනය ඇති කරන ලද ගුරු විදුහල්පති වර්ජනය සම්බන්ධයෙන් පක්ෂව මෙන්ම විපක්ෂව අදහස් පළ කිරීම් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ පළවේ.

“ගුරුවරුන්ගෙන් ඉගෙන ගත් අය කිසිදා ගුරුවරුන් හෙළා නොදැකිය යුතුය” යන්න එක් පිරිසකගේ මතයයි.තවත් පිරිසක් මෙම ඉල්ලීම් සාධාරණ මුත් මෙය අවස්ථාව නොවන බවට තර්ක කරති. මෙම වර්ජනය මුළුමණින්ම දේශපාලන උවමනාකම් මත සිදුවන්නක් යන්න තෙවැනි කණ්ඩායමේ මතයයි.

ගුරු වර්ජනය නිසා වසංගතය පැතිරී යන බවට ඒත්තු ගැන්වීමේ ඡායාරූප ආදියද ඇතැමුන් පළ කරන අතර ද්වේශ සහගත අරමුණින් ඇතැම්වා ව්‍යාජ ලෙස ගොතා පළකර ඇති අයුරුද වාර්තාවේ.

මේ සමග පළවන්නේ එවැනි පෝස්ටු කිහිපයක් ගැනයි.
1)
ගුරු වර්ජනයට ගෙදරින් ආ සුරූපී ගුරුවරිය ලැගුම් හලින් හමුවෙයි යනුවෙන් ලංකාදීප දිනපතා පුවත්පතේ ‘දෙයියෝ සාක්කි‘ විශේෂාගයේ පළවන්නක් ලෙස ව්‍යාජ නිර්මාණයක් ගුරුවරියන්ට අපහාස වන ලෙස පළව තිබුණේ පහත පරිදිය. එහිදී ලංකාදීප ග්‍රැෆික් නිර්මාණයක් ඔවුන් ඒ සඳහා භාවිත කර තිබුණි. ව්‍යාජ නිර්මාණය ගැන කළ විමසීමේදී එවැන්නක් තම පුවත්පතේ පළ කර නැති බව පුවත්පත සනාථ කර තිබේ.


2)
ගුරු වර්ජකයින් සෞඛ්‍ය නීති පැහැර හරිමින් කටයුතු කළ බවට දක්වමින් 2021 සිද්ධවූවක් ලෙස කොරෝනා වසංගතය ගැන නීති රීති නොපැවති 2019 වසරේ පැවති සංකේත ගුරුවර්ජනයක ඡායාරූපයක් ඇසුරින් ව්‍යාජ පෝස්ටුවක්ද පැතිර ගිය අතර මුල් ඡායාරූපය පළ කර තිබුනේ වසර 2 කට පෙර ‘ද මෝර්නිං‘ ඉංග්‍රීසි පුවත්පතේය.


3)
ගුරුවර්ජකයින් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ පිටතින් ගෙන්වූ පිරිසක් මෙම ක්‍රියා මෙහෙයවූ බවට වැරදි මතයක් ප්‍රචාරය කිරීමට තවත් පෝස්ටුවක් ප්‍රචාරය විය.
පොලිස් මාධ්‍ය ඒකකයෙන් කළ විමසීමකදී ඔවුන් අවධාරණය කර ඇත්තේ අත්අඩංගුවට පත්වූ බහුතරය ගුරුවරුන් බවත්, ඒ අනුව අත්අඩංගුවට ගත් පිරිස අතරින් පිරිමි ගුරුවරුන් 22 දෙනෙක් සහ ගුරුවරියන් 16 දෙනෙකු වන අතර 6 දෙනෙකු පමණක් බාහිර පුද්ගලයන් බවයි.


4)
ගුරු වර්ජනය සම්බන්ධ ‘අද‘ පුවත්පතේ ලිපි ලියන ඉන්දික හේවාවිතාරණ ලේඛකයාගේ නම අවභාවිතා කරමින් ගුරු වර්ජනය සම්බන්ධ මඩ ගැසීමේ අරමුණින් සකස් කළ තවත් පෝස්ටුවක් පහත පළවේ. අදාළ ලේඛකයාගෙන් හා පුවත්පත් කර්තෘවරයාගෙන් කළ විමසීමේදී මෙවැනි පුවතක් පළ කර නැති බව තහවුරුවී ඇත.

(gossiplankanews.com වෙබ් අඩවිය ඇසුරිනි)