මෝචරියට ඇති වී ඇති තදබදය හේතුවෙන් ඔබේ මරණය වළක්වා ගන්නේ නම් මැනවි

0
Covid Deaths in Sri Lanka - මෝචරියට ඇති වී ඇති තදබදය හේතුවෙන් ඔබේ මරණය වළක්වා ගන්නේ නම් මැනවි

රාගම ශික්ෂණ රෝහලේ මේ වන විට මෘත දේහ ආදාහනය කිරීමට නොහැකිව ගොඩගැසී ඇතැයි වාර්තා වේ.

රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා සඳහන් කළේ, මෘතදේහ 20ක් පමණ ආදාහනය කිරීමට නොහැකිව ගොඩගැසී ඇති බවය.

එම මෘතදේහ යොමු කිරීමට නියමිතව ඇති ආදාහනාගාර කිහිපයක් අක්‍රිය වීමත් සමඟ එම මෘතදේහ තවදුරටත් නරක්වීම ගැටලු සහගත තත්ත්වයක් බවට පත්ව තිබේ.

“රාගම මැරුණු ඔක්කෝම මේකේ තමයි කරන්නේ. දැන් 215ක් විතර කරලා තියෙනවා. ගිය මාසේ 17 වෙනි දා ඉඳලා මේක කැඩිලා තියෙන්නේ.”

පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරය තුළද කොවිඩ් ආසාදිත මෘතදේහ මේ වන විට ගොඩගැසී තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් මරණවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බැවින් කළුතර දිස්ත්‍රික්කයේ සියලුම ආදාහනාගාර පැය 24 පුරා විවෘතව තැබීමට තීරණය කර තිබේ.

මේ පිළිබඳ අදහස් දැක්වු කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය උදය රත්නායක මහතා පවසා සිටියේ, හඳුනා නොගත් මළ සිරුරු කිහිපයක් තිබෙන බැවින් එම මළ සිරුරු ප්‍රමිතියකට ශීතාගාරවල තැන්පත් කිරීම ගැටලුවක් ව ඇති බවය.

“කළුතර දිස්ත්‍රික්කයේ සියලුම ආදාහනාගාර පැය 24ක් පුරා ක්‍රියාත්මකව පැවැත්වීමට තීරණය කරනු ලැබුවා. ඊයේ දිනයේ දී කළුතර මහ රෝහලේත් පානදුර මුලික රෝහලේත් එකතු වී තිබුණ මළ සිරුරු ආදාහනය කිරීම ආරම්භ කර තිබෙනවා.”

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියේ, ආදාහනාගාරවල තිබු තදබදය නිසාවෙන් මෘත ශරීර රෝහල්වල ගොඩ ගැසුණු බවය.

“මෘත ශරීර පසුගිය දින කිහිපයේ දීම රෝගීන් 70 – 90ක් මියගියා. මෙම රෝගීන් අපට ආදාහනය කරන්න වෙනවා. ඒ සඳහා එම ප්‍රදේශයේ ආදාහනාගාර අපට අවශ්‍යයි. ඒ ආදාහනාගාරවලට කොවිඩ් -19 ආසාදිතයින්ගේ මෘත ශරීර මෙන්ම අනෙකුත් සාමාන්‍යයෙන් මියයන අයගෙත් මෘත ශරීර ගෙන යනවා. සේ ආදාහනාගාරවල තිබුණ තදබදය නිසාවෙන් තමා මෘත ශරීර දින දෙක තුනක් එම රෝහල්වල තියා ගන්න වුණේ. මේ එකතුවෙලා තියෙන මෘත ශරීර සියල්ලම අද සහ හෙට අවසන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ”

කොවිඩ් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා පවසා සිටියේ, මේ වන විට රට ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙමින් ඇති බවය.

“විශේෂයෙන් මේ මොහොත වන විට බොහෝ රෝහල්වල ධාරිතාවය ඉක්මවා ගොස් තිබෙනවා. ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳන් සංඛ්‍යාව අවසන් වෙමින් තිබෙනවා. ඒ නිසා වාර්තාවන විශාල රෝගීන් සංඛ්‍යාවක් අපට නිවෙස්වල රඳවා ගැනීමට සිදුව තිබෙනවා. සෞඛ්‍ය අංශවල පාලනයෙන් ගිලිහීමට ආසන්නයි.”

මේ අතර කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානිද සොයිසා මහත්මිය සිට ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ “මෝචරියට ඇති වී ඇති තදබදය හේතුවෙන් ඔබේ මරණය වළක්වා ගන්නේ නම් මැනවි” යන්නයි.

වොෂින්ටන් සරසවියේ සෞඛ්‍ය ප්‍රමිති හා ඇගයීම් පිළිබඳ පර්යේෂණ ආයතනය උපකල්පනය කර තිබෙන්නේ ඉදිරි සති දෙකක කාලය තුළ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2000 කින් ඉහළ යනු ඇති බවය.