පූජිත්ට සහ හේමසිරිට ඇප

0
පූජිත්ට සහ හේමසිරිට ඇප

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ට අධිචෝදනා පත්‍ර භාරදීම ට අධිකරණය නියෝගකර තිබේ.

ඒ අනුව, පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වාගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැර මිනීමැරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට අධිචෝදනා පත්‍ර භාරදීම සඳහා එම නඩු ලබන 27 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව අද (06) කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් වන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටි බව අප වාර්තාකරු පැවසීය.

ඉන් අනතුරුව විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරු පෙර ඇපමත මුදාහැරීමට නියමකළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් නියෝග කළේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරස් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් විත්තිකරුවන්ට අදාළ අධිචෝදනා පත්‍රවල අන්තර්ගත චෝදනා යළි අධ්‍යයනය කර නිශ්චිත චෝදනා පත්‍රයක් ඉදිරිපත්කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩුව නැවත ලබන 27 වනදා කැඳවීමට නියමකළ අතර එදින විත්තිකරුවන්ට අදාළ චෝදනා ඉදිරිපත් කරන ලෙස පැමිණිල්ලට නියම කළේය.