කොවිඩ් -19 වෛරසය ආසාදිතව ගුරුවරියක් මරුට

0

කොවිඩ් -19 වෛරසය ආසාදිතව මියගිය පාසල් ගුරුවරියක් පිළිබඳව බදුල්ලෙන් වාර්තා වෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක, බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසූවේ එම කොවිඩ් ආසාදිත ගුරුවරිය අසාධ්‍ය තත්ත්වයෙන් ඊයේ (05) රෝහලට රැගෙන ආ බවය.

ඇයව රෝහල්ගත කර කෙටි වේලාවකින් ජීවිතක්ෂයට පත්වූ බවද වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

එලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ බදුල්ල දෙමළ බාලිකා විදුහලේ සේවය කළ ගුරුවරියකි.

කේ. ශාන්ති මලර් නමැති 49 හැවිරිදි එම ගුරුවරිය බදුල්ල යාම්පානම් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

මෙම ගුරුවරියගේ පුත්‍රයාට මීටපෙර කොවිඩ් ආසාදනය වී තිබී ඇති අතර ඔහුගෙන් ගුරුවරියට වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරේ.

වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ අදාළ පුත්‍රයා මේ වනවිට සුවය ලබා ඇති බවය.

මේ අතර හැටන් දික්ඔය නගර සභා සීමාවෙන් ඊයේ (05) කොවිඩ් -19 වෛරසය අසාදනය වූ 12 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් 31 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසීය.

එම ආසාදිතයින් 12 දෙනා පවුල් 6කට අයත් හැටන් දිඹුල පාර, හිජිරාපුර, බණ්ඩාරනායකපුර, බිංගෙය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මේ අතර තවත් ආසාදිතයින් 29 දෙනෙකු මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ.

මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී. චන්ද්‍රරාජන් මහතා සඳහන් කළේ එම ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් 55 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකළ බවය.

එම අසාදිතයන් මස්කෙළිය නගරය, ගවරවිල වත්ත සහ නොර්වුඩ් ප්‍රදේශවල පදිංචිකරුවන්ය.