සැප්තැම්බර් 15 සිට ගොවීන්ට කාබනික පොහොර

0
සැප්තැම්බර් 15 සිට ගොවීන්ට කාබනික පොහොර

ලබන සැප්තැම්බර් 15 වැනිදා සිට නව ක්‍රමවේදයක් යටතේ ගොවි බිමේ පාංශු පරීක්ෂණයක් සිදුකර ගොවීන්ට කාබනික පොහොර ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ පැවැසීය.

මෙම නව ක්‍රමවේදයේදී මීට පෙර සිදුකළ ආකාරයට ගොවීන්ට සිය අවශ්‍යතාව මත පොහොර ලබා ගැනීමට නොහැකි අතර ගොවි බිමට අවශ්‍ය පොහොර ප්‍රමාණය හඳුනාගෙන එම ප්‍රමාණය පමණයක් ලබාදෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.

ඊයේ (05දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී රසායනික පොහොර තහනම පිළිබඳ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

‘‘අපි දැන් කියල තියෙනව තමන්ගෙ පොහොර තමන්ට හදාගන්න කියලා. අපි ඒ සඳහා දිරිගැන්වීම් දීමනාවක් ලබාදෙනවා. එම පොහොර ප්‍රමාණය මදි කියලා අපි දන්නවා. ඒ නිසා තමයි කාබනික සම්භවයක් තියෙන නයිට්‍රජන් ලංකාවට ගේන්නෙ. පොටෑසියම් ගේන්නෙ. මේටික අපි ගොවියාට දෙනවා. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අදාළ ප්‍රාදේශීය කාර්යාල හරහා මේවා ලබාගන්න පුළුවන්.

අපි හැම කුඹුරකම පාංශු පරීක්ෂාවක් කරනවා. දැනටමත් අම්පාරෙන් මෙම පාංශු පරීක්ෂාව ආරම්භ කිරීමට සැලසුම් කරල තියෙන්නේ. ලබන සතියේ එය ආරම්භකරනවා. ඒ අනුව සෑම ගොවියකුටම අංකයක් ලැබෙනවා. එම ක්‍රියාවලියට කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් හා කෘෂි උපදේශකවරු සහභාගි වෙනවා. ඔවුන්ට අවශ්‍ය පුහුණුව දැනටමත් ලබාදෙනවා. මේ පාංශු පරීක්ෂාවට අනුව අපි තීරණය කරනවා එක් එක් ගොවියාට අවශය පොහොර ප්‍රමාණය කොපමණද කියලා. එතකොට කලින් වගේ තමන්ට මෙච්චර ඕනෙ කියලා ගොවීන්ට පොහොර ඉල්ලන්න බැහැ. අපි අවශ්‍යතාව හඳුනාගෙන අවශ්‍ය ප්‍රමාණය ලබාදෙනවා.”