උත්සවවලට එන අය එන්නත ලබා ගෙන ඇත්දැයි විමසිලිමත් වන්න

0
උත්සවවලට එන අය එන්නත ලබා ගෙන ඇත්දැයි විමසිලිමත් වන්න

විවාහ මංගල සහ සෙසු උත්සව සඳහා දැනට ලබාදී ඇති සහනය ඇතමුන් අවභාවිත කරන බව පෙනී යන බැවින් එවැනි උත්සවවලට නැවතත් සීමා පැනවීමේ ඉඩකඩ වැඩි වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් රෝහණ මෙසේද පැවසීය.

මේ වන විට රට පුරා පනවා තිබූ සංචරණ සීමා යම් ආකාරයකට ලිහිල් කර තිබෙනවා. එමෙන්ම විවාහ මංගල වැනි උත්සව සඳහා ලබාදී තිබූ සීමාවන්ද යම් තරමකට ලිහිල් කර තිබෙනවා. නමුත් කියන්න කනගාටුයි ඇතම් පිරිස් මෙම සහනය අවභාවිත කරන බව දකින්න තිබෙනවා.

පසුගිය දින කීහිපයේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මංගල සහ වෙනත් උත්සවවලට සහභාගි වූ පිරිස් අතරින් කොරෝනා පොකුරු හඳුනා ගැනීමට හැකිවුණා.

එබැවින් සහනය අවභාවිත කරමින් තව දුරටත් ජනතාව කටයුතු කරන්නේ නම් අපට සිදු වන්නේ සීමා මායිම් පැනවීමටයි. මෙම තත්ත්වය ජනතාව මෙන්ම උත්සව සංවිධානය කරන පිරිස්ද අවධාරණය කර ගත යුතු වෙනවා.

එමෙන්ම මෙවැනි උත්සවවලට සහභාගි වන පිරිස් කොවිඩ් එන්නත් ලබා ගෙන ඇත්දැයි විමසිලිමත් වීම ඉතා වැදගත්. අවම වශයෙන් උත්සවවල ප්‍රධාන පාර්ශ්ව හෝ පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර තමන් ආසාදිතයකු නොවන බවට තහවුරු කරගෙන සිටියහොත් එයද ඉතා වැදගත් වනවා.මේ සම්බන්ධයෙන් නැවත නැවත අවධානය යොමු කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.