සිවිල් ඉංජිනේරුවාගේ සිරුර හයිවේ එකේ ජිප් එකක් ඇතුළේ

0
Dead Body in a Jeep - සිවිල් ඉංජිනේරුවාගේ සිරුර හයිවේ එකේ ජිප් එකක් ඇතුළේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශයේ නවතා තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් තුළ පුද්ගලයකු අභිරහස් ලෙස මියගොස් සිටියදී ඊයේ (31) හමුවූ බව අළුත්ගම සහ වැලිපැන්න පොලිස් ස්ථාන භාර සහකාර පොලිස් අධිකාරී රමිඳු ද සිල්වා මහතා පැවසීය .

එලෙස මියගොස් ඇත්තේ මාලබේ ප්‍රදේශයේ පදිංචිවසිටි සිවිල් ඉංජිනේරුවකු වන දිනේෂ් ජයවීර (45) නැමැති ව්‍යාපාරිකයෙකි. ඔහු දෙදරු පියෙක් බව ද වාර්තා වේ.

මෙම සුඛෝපභෝගී ජීප් රථය (30) දින දහවල් 1.06 ට පමණ සේවා ප්‍රදේශයට ඇතුළු වන අයුරු එහි සවිකර ඇති ආරක්ෂක කැමරාවක සටහන්ව තිබු බව පොලීසිය පවසයි.

ඊයේ (31) දහවල් සිට ජීප්රථය එම ස්ථානයේ නවතා තිබූ අයුරු දුටු සේවා ප්‍රදේශයේ සේවකයන් විසින් ඒ පිළිබඳ සොයා බැලීමේදී පුද්ගලයකු පිටුපස අසුනේ සිටිනබව දැක කතා කළත් අවදි නොවූ හෙයින් ජීප් රථයේ ඉදිරි වම්පස පැති වීදුරුව කඩා පරීක්ෂා කිරීමේදී ඔහු මියගොස් සිටින අයුරු දැක ඒ බව පොලීසියට දැනුම් දී තිබේ.

මියගොස් ඇති පුද්ගලයා එම ජීප් රථය අයිතිකරු වන අතර ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට හැකි වී ඇත්තේ එහි පිටුපස අසුනේ තිබී බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුන් වන කපිල ප්‍රේමදාස, නිශාන් ද සිල්වා, සහකාර පොලිස් අධිකාරී රමිඳුද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වැලිපැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ සිදු කරයි.

එම පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (1) කලුතර නාගොඩ රෝහලේ දී සිදුකිරීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.