“වෛද්‍ය රසායනාගාර සේවාව ධාරිතාව පැනලා” රවී කුමුදේශ්

0
Ravi Kumudesh

මේ වනවිට වෛද්‍ය රසායනාගාර ධාරිතා සීමාව ඉක්මවමින් පවතින බැවින්, ඊට අදාළව වහාම පිලළියම් යෙදිය යුතු බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පෙන්වා දෙනවා.

එම සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ යෝජිත විකල්ප ක්‍රියාමාර්ග ප්‍රමාදවී හෝ ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කරන ලෙසයි.

ඒ සදහා මධ්‍යගත රසායනාගාර සේවාවට සමාන්තරව මුලික රෝහල් හා දිස්ත්‍රික් රෝහල් පදනම් කර ගත් විමධ්‍යගත රසායනාගාර සේවාවකට අත්‍යවශ්‍ය උපකරණ ලබා දීමෙන් පමණක් පරීක්ෂණ ධාරිතාව දෙගුණයකට වඩා වැඩි කල හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

විකල්ප රසායනගාර ක්‍රම ස්ථාපිත කිරීම දිනෙන් දිනම ප්‍රමාද කිරීම බරපතල අර්බුදයකට අතවැනීමක් බවත් එබැවින් මෙම සේවා කඩිනම් කර සාම්ප්‍රදායික PCR පරීක්ෂණ වෙනුවට ස්ථානීය PCR පරීක්ෂණ, ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ, ජංගම රසායනාගාර යන සංකල්ප ඉතා කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත් ඔවුන් අවධාරණය කරනවා.

සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ මේ පිළිබඳව තාක්ෂණික වාර්තා හතරක් ජනාධිපතිවරයා ඇතුළු පාර්ශවයන් වෙත මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවයි.

නමුත් ඒ පිළිබඳව මේ දක්වා සාකච්ඡා කිරීමට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ .

කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම උද්දච්ච ස්වභාවය මහජනතාවට හානිකර බැවින්, ජනධිපතිවරයා මැදිහත් වී හෝ විමධ්‍යගත රසායනාගාර සේවාව වහා ආරම්භ කල යුතු බවටයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ.