කුසල්, ධනුෂ්ක හා දික්වැල්ලට අවුරුදු දෙකක ක්‍රිකට් තහනමක්

0
Kusal Danushka and Dikwella - කුසල්, ධනුෂ්ක හා දික්වැල්ලට අවුරුදු දෙකක ක්‍රිකට් තහනමක්

නිමාවූ එංගලන්ත සංචාරයේදී ජෛව බුබුලෙන පිටතට විත් විනය විරෝධීව හැසිරීමට චෝදනා ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උපනායක කුසල් මෙන්ඩිස්ට සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසර 02ක ක්‍රිකට් තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පනවා තිබේ.

මීට අමතරව කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට මාස 18ක තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පනවා තිබේ. දික්වල්ලගේ පළමු වැරැද්ද හේතුවෙන් ඔහුට තහනම යම්තාක් දුරකට අඩු කර තිබේ.

කුසල්, දික්වැල්ල සහ ධනුෂ්කට එරෙහි පරීක්ෂණ වාර්තාව දඬුවම් නිර්දේශ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාරදුන් බව විමර්ශන ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා පත් කළ පංච පුද්ගල කමිටුවේ නිලධාරියෙකු පැවසුවේය.

මෙම ක්‍රීඩකයන්ට එරෙහි විනය පරීක්ෂණය අද (29දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්විණ.

ඒ එම විමර්ශන ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා පත් කළ පංච පුද්ගල කමිටුව හමුවේය.

මෙම කමිටුව අද දිනයේදීම අදාළ පරීක්ෂණයේ වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාරදී ඇති අතර, ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එහි ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම පරීක්ෂණය සඳහා පත්කළ කමිටුවට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද, නීතිඥ අසේල රැකව, නීතිඥ උචිත වික්‍රමසිංහ සහ විශ්‍රාමික මේජර් ජෙනරල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා යන මහත්වරු ඇතුලත්ව සිටියහ.