මේ වසර තුල මෙරට ඩෙංගු රෝගීන් 16,500 ක්

0
මේ වසර තුල මෙරට ඩෙංගු රෝගීන් 16,500 ක්

“මේ වසර තුල මෙරට ඩෙංගු රෝගීන් 16,500 ක් පමණ පිරිසක් වාර්තා වෙනවා. ඒ අතරින් අති බහුතරයක් රෝගීන් වාර්තා වෙන්නේ බස්නාහිර පළාත තුල . ජූලි මස පමණක් රෝගීන් 3025ක් වාර්තා වෙලා තියෙනවා . එයින් 1185 ක්ම කොළඹ දිස්ත්‍රික්ක තුල වාර්තා වෙලා තියෙන්නේ.”

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා සොඛ්‍ය වෛද්‍ය, වෛද්‍ය හිමාලි හේරත් මෙසේ සඳහන් කලේ අද (29) පිළියන්දලදී පැවති ඩෙංගු මර්ධන වැඩමුළුවක් සඳහා සහභාගී වූ පිරිසක් අමතමිනි.

ජාතික ඩෙංගු මර්ධන ඒකකය , බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්‍යාලය , කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්‍යාලය එක්ව බස්නාහිර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයන්හී වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා මෙම ඩෙංගු මර්ධන වැඩමුළුව සංවිධානය කර තිබිණ .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හිමාලි හේරත් මෙසේද පැවසීය.

” කොවිඩ් වසංගත තත්ත්වයේ වුවද නොයෙකුත් විවිධ රාජකාරි මධ්‍යයේ අපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කාර්යබහුල වුණත් මේ අවස්ථාවේදී මේ ඩෙංගු රෝගය සමඟත් සටන් කළ යුතුයි . අපට වාර්තා වෙන සෑම රෝගීන් දසදෙනෙකුගෙන්ම හත් දෙනකු ම වාර්තා වන්නේ බස්නාහිර පළාත තුලින්. ඒ නිසයි අපි තීරණය කළේ අපේ කොඳු නාරටිය බඳු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් , මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තවදුරටත් දැනුමෙන් සන්නද්ධ කිරීමටත්, යතාවත් කරන්නටත් වගේම ඩෙංගු මර්දනය සඳහා ඔවුන්ගේ සක්‍රීය දායකත්වය අපට අවශ්‍ය වන බැවින් තමයි මේ ඒකාබද්ධ වැඩමුළුව පැවැත්වෙන්නේ”.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි මෙසේ පැවසීය.

” ලංකාවේ වාර්තා වන ඩෙංගු රෝගීන් අතුරින් 20% පමණ වාර්තා වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිතව . මේ දිනවල කොවිඩ් මර්දන කටයුතු සමග ඩෙංගු මර්දන කටයුතු ක්ෂේත්‍රය තුළ යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා . මේ නිසා අපි ජනතාවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ නිලධාරී කොට්ඨාස තුළින් නිවැරදි මාර්ගෝපදේශයක් ඩෙංගු මර්දනය කිරීම උදෙසා ලබාදිය යුතු වෙනවා . අපි දැනට බස්නායක පළාතේ හඳුනාගෙන තියන අධි අවදානම් කලාප තුළ ඉලක්කගත වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු වෙනවා . මේ දිනවල ඒ සඳහා අපේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල මානව සම්පත ඉතාමත් අඩුයි. ඒ නිසා අප ජනතාව දැනුවත් කළ යුතු වෙනවා ඔවුන් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයන් මොනවද කියලා . “

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේදී පැවති මෙම වැඩසටහන සඳහා වෛද්‍ය සුදත් සමරවීර, වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් , මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුලු පිරිසක් සහභාගී විය.