බදියුදීන්ගේ නිවසේ සේවය කළ තවත් කාන්තාවන් 5 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී

0
බදියුදීන්ගේ නිවසේ සේවය කළ තවත් කාන්තාවන් 5 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී

හිටපු අමාත්‍ය රීෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටිය දී පිළිස්සී දැරියක් මියයාමේ සිද්ධියට අදාළව එම නිවසේ සේවය කළ තවත් කාන්තාවන් පස්දෙනෙකුගෙන් පොලීසිය ප්‍රකාශ ලබාගෙන තිබේ.

2010 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ අදාළ නිවසේ කාන්තාවන් 11දෙනෙකු සේවයේ නිරතව සිට ඇති බවට අනාවරණය වී ඇත.

ඉන් 5 දෙනෙකුගෙන් ඊයේ (28) ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

“සමහර කාන්තාවන් මේ වන විට එම ප්‍රදේශයෙන් බැහැරව ගොස් ඇති නිසා ඔවුන්ගේ දෙමාපියන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ දිනය තුළ ප්‍රකාශ 9ක් පමණ ඒ සිදුවීම්වලට අදාළව සටහන් කරගෙන තිබෙනවා. එක් පැත්තකින් දැරියට අදාළ සිදුවීම් පිළිබඳවත් අනෙක් අතින් දැරියට පෙර නිවසේ සිටි කාන්තාවන්ට ඇති වු හිංසනයක්, අපයෝජනයක් හෝ වෙනත් වරදක් සිදුකර තිබේ නම් ඒ සම්බන්ධයෙනුත් විමර්ශන ආරම්භ කර තිබේ.“

මේ අතර, මියගිය දැරියගේ දේහය හෙට (30) දිනයේ දී ගොඩගැනීමට නියමිතව තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සඳහා අද (29) පෙරවරුවේ විමර්ශන නිලධාරින් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කරමින් සිටියදි 16 හැවිරිදි දැරියක් පිළිස්සි මිය ගියේ ඉකුත් 15 වැනිදාය.

එම සිද්ධියට අදාළව පැමිණිල්ල ඉකුත් 26 වැනිදා කැඳවු අවස්ථාවේදි අධිකරණය නියෝග කළේ, එම දැරියගේ මළ සිරුර යළි ගොඩගෙන විධිමත් නව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය.

ඒ අනුව හෙට දිනයේ දී දේහය ගොඩගෙන දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නම් කිරිම හා නීතිපතිවරයාගේ නිර්දේශ මත අධිකරණය විසින් ත්‍රිපුද්ගල අධිකරණ වෛද්‍ය විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබීය.

හෙට දිනයේ දී දේහය ගොඩගැනිම සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරිම සඳහා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ , කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යංශයේ හා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් අද නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.