මෙරට කොවිඩ් රෝගීන් ට ඔක්සිජන් අවශ්‍යතාවය ඉහළ ගොස්

0
මෙරට කොවිඩ් රෝගීන් ට ඔක්සිජන් අවශ්‍යතාවය ඉහළ ගොස්

මේ දිනවල කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීමේදී පෙරට වඩා ඔක්සිජන් අවශ්‍යතාවය ඉහළ ගොස් තිබුණද අවශ්‍ය ඔක්සිජන් සංචිත සම්පාදනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට සැලසුම් සකස් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (28) පැවසුවේ රට තුළ ඔක්සිජන් හිඟයක් නොමැති බවය.

ප්‍රශ්නය – ඉන්දියාවේ පැතිරුනේ මේ ඩෙල්ටා වෛරසය ව්‍යසනකාරී තත්ත්වයක් ගෙන දෙන්නට. ලංකාවත් මේ තත්ත්වයට යමින් පවතිනවා ද?

“ලංකාවට මෙවැනි තත්ත්වයක් උද්ගතවීමට තරම් බරපතළ තත්ත්වයක් උද්ගත වෙලා නෑ මේ මොහොත වන විට. අපිට අවශ්‍ය තරම් ඔක්සිජන් ලංකාවේ තියෙනවා. ඒ වගේම අවශ්‍ය වුණොත් අමතර ඔක්සිජන් ලබා ගැනීම සඳහාත් ඒ වගේම ඔක්සිජන් ලබාගැනීමේ දී කාර්මික වශයෙන් නිෂ්පාදිත ඔක්සිජන් සහ ඒ වගේම ඔක්සිජන් සාන්ද්‍රණය කිරීමක් හරහා සාමාන්‍ය වායුගෝලයෙන් ඔක්සිජන් ලබාගැනීමේ ක්‍රමවේදයත් භාවිත කරමින් අවශ්‍ය කරන ප්‍රමාණයට මේ දක්වා අපිට වාර්තා වන රෝගීන් සංඛ්‍යාවටත් ඊට වඩා ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුවත් ඒ අයට අවශ්‍ය ඔක්සිජන් ලබාදීම සඳහා අවශ්‍ය සියලු වැඩසටහන් සම්පාදනය කරලා තියෙන්නේ. අවශ්‍ය කරන ඔක්සිජන් අපිට හිඟයක් මේ මොහොතේ කොහෙත්ම නෑ.”

උද්ඝෝෂණ හේතුවෙන් කොවිඩ් රෝගය තවදුරටත් පැතිරයාමේ අවදානමක් පවතින බව ද විශේෂඥ වෛද්‍ය හේමන්න හේරත් මහතා පවසයි.

ඔහු පවසන්නේ මේ පිළිබඳ අවදානය යොමු කරමින් උද්ඝෝෂණ කිරීමෙන් වැලකී සිටීමට අදාළ පාර්ශව අවධානය යොමු කළ යුතු බවය.

උද්ඝෝෂණය සංවිධානය කරන පුද්ගලයින් මෙන්ම එයට සහභාගී වන අයද මේ මොහොතේ දැඩි වගකීමකින් කටයුතු කළ යුතු බව ද පැවසු වෛද්‍යවරයා, මෙවැනි ඒකරාශී වීම් තුළින් පොකුරක් ඇති වුවහොත් එහි වගකීම භාරගන්නේ කවුරුන්ද යන්න පිළිබඳ අවධානය යොමුකළ යුතු බව ද පැවසීය.

අවසානයේ දී එවැනි තත්ත්වයක් තුළ සෞඛ්‍ය අංශයන්ට එහි වගකීම පැවරෙන බවත් මෙයට සම්බන්ධතාවයක් නොමැති අයට පවා මෙහි අවසන් ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුවන බවත් පැවසු වෛද්‍යවරයා මෙවැනි තත්ත්වයක් පිළිබඳ සලකා බලමින් කටයුතු කරන ලෙස ද ජනතාවයෙන් ඉල්ලා සිටියේය.

මේ අතර එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයෙකුට වුවද කොවිඩ් ආසාදනය වීමේ හැකියාවක් පවතින බව විශේෂඥ වෛද්‍ය හේමන්න හේරත් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

“එන්නත් දෙකම ලබාගත් පුද්ගලයෙකුට පවා කොවිඩ් වැලඳීමට ඉඩකඩ තියෙනවා. නමුත් ඒ අවස්ථාවේ දී ශරීරය තුළ ගොඩනඟා තියෙන ප්‍රතිශක්තිය හේතුකොට ගෙන ඇඟ ඇතුළේ වෛරස වැඩිවීම පාලනය වන බැවින් සංකූලතාවයන්ට යෑම අවම වෙනවා. ඒ වගේම අන් අයට බෝකිරීමට තියෙන ඉඩකඩ අඩුවෙනවා. නමුත් ඉඩකඩ නැතිවෙන්නේ නෑ. අනිවාර්යයෙන්ම එන්නත් ලැබිය යුතු පුද්ගලයෙක් නම් අප්‍රමාදව එන්නත ලබාගන්න. එන්නත් ලබාගැනීමෙන් පසුවත් අවශ්‍ය මුලික පුරුදු පිළිපඳිමින් රෝගයෙන් ආරක්ෂාවීමට කටයුතු කළ යුතුයි.“

මේ අතර හපුතලේ , හල්දුම්මුල්ල නීඩ්වුඩ් වතුයායේ පරණවත්ත කොටසින් නව ආසාදිතයින් 56 දෙනෙකු ඊයේ (27) වාර්තා විය.

ඒ අනුව එම ප්‍රදේශයේ පවුල් 154 ක පුද්ගලයින් 574 දෙනෙකු නිරෝධායනයට යොමු කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේය.

එමෙන්ම පරණවත්ත කොටසට දැඩි සංචරණ සීමා පනවා එම කොටස මේ වනවිට හුදකලා කර තිබේ.