වයස 32යි නඩු 48යි

0
වයස 32යි නඩු 48යි

ගුවන් නියමුවකු ලෙස පෙනී සිටිමින් වාහන සහ මුදල් වංචාවන් සම්බන්ධයෙන් නඩු 48ක් සඳහා අවශ්‍ය මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේදී පෙරේදා (26 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර කටුගොඩැල්ල වීදියේ පදිංචි ප්‍රමුදිත අරලිය වික්‍රමසිංහ නමැති 32 හැවිරිදි පුද්ගලයකු වන ඔහුට එරෙහිව මහනුවර අධිකරණය විසින් විවෘත වරෙන්තු හයක්ද නිකුත් කර ඇත.

හෝමාගම ප්‍රදේශයේ වාහන කුලී පදනම මත ලබාදෙන ස්ථානයකින් කූඨ ලේඛන ඉදිරිපත් කර මෙම පුද්ගලයා රුපියල් ලක්ෂ 50 ක් වටිනා වෙසල් වර්ගයේ මෝටර් රථයක් ලබාගෙන තිබුණේ මෙයට මාසයකට පෙරය. තමන් ගුවන් නියමුවකු යැයි කියමින් මොහු එම වාහනය ලබාගෙන ඇති අතර එම වාහනයත් කුලියට ගත් පුද්ගලයාත් අතුරුදන්වීම ගැන කුලී රථ සමාගමේ හිමිකාරීත්වය විසින් හෝමාගම පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේගේ නියෝගය අනුව නුගේගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ. කේ. ජී. හේවගේ විසින් පරීක්ෂණ ආරම්භ කළ අතර මෙම පුද්ගලයාගේ දුරකථන දත්ත දීර්ඝව විමර්ශනය කිරීමේදී මොහු ගුවන් නියමුවකු නොවන බවට අනාවරණය වී ඇත. එමෙන්ම සැකකරු විසින් කුලී පදනම මත ගත් මෝටර් රථයද බිංගිරිය ප්‍රදේශයේ වෙනත් පුද්ගලයකුට අංක තහඩු හා ලිපි ලේඛන මාරු කරමින් අලෙවි කර තිබියදී සොයාගෙන තිබිණි.

එමෙන්ම සැකකරු භාවිත කළ ජාතික හැඳුනුම්පතද, හැඳුනුම්පත් අංකය පමණක් නිවැරදිව වෙනත් ව්‍යාජ නමකට තනා ගත්තක් බවටද අනාවරණය වී තිබේ.

සැකකරු හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.