උදය විමල් දෙදෙනා නිසා බදියුදීන් පවුලම අමාරුවක

0
Rishad Udaya and Wimal - උදය විමල් දෙදෙනා නිසා බදියුදීන් පවුලම අමාරුවක

එදා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයා රජයට සම්බන්ධ කර නොගන්නා ලෙස තමන් සහ විමල් වීරවංශ අමාත්‍යවරයා රජයට දැඩි පීඩනයක් එල්ල කළ අතර අදටත් එය එලෙසම පවතින බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ හිරු ටීවී සලකුණ දේශපාලන වැඩසටහනට එක් වෙමිනි.

තමන් ඇතුළු පිරිස එදා ගත් එම තීන්දුව හේතුවෙන් අද වන විට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයා පමණක් නොව ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් සිදුකළ වැරදි පවා එකිනෙක අනාවරණය වෙමින් පවතින බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේය.

තමන්ට එරෙහි විශ්වාස භංගයේ දී ඊට එරෙහිව ඡන්දය භාවිත කරන්න යැයි කිසිදු විටෙක රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් ගෙන් තමන් ඉල්ලා නොසිටි බව බලශක්ති අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය. එමෙන්ම රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයා ආණ්ඩුවට එරෙහිව කටයුතු කරද්දී මෙම මන්ත්‍රිවරුන් තිදෙනා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිටම රජයට පක්ෂව ඡන්දය පාවිච්චි කර ඇති බවද ඒ මහතා සිහිපත් කර සිටියේය.

රිෂාඩ් රැකීමට කැමති යම් පිරිසක් මෙම රජය තුළ සිටිය හැකිය යන මතය තමන් බැහැර නොකරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඊට එරෙහිව තමන් ඇතුළු බලවේග දිගටම ක්‍රියාත්මක වන බවද ප්‍රකාශ කර සිටියේය.