කොවිඩ් නිව්මෝනියාවෙන් කරාපිටියේදී 8ක් මරුට

0
Covid Deaths in Karapitiya - කොවිඩ් නිව්මෝනියාවෙන් කරාපිටියේදී 8ක් මරුට
කොවිඩ් නිව්මෝනියාව වැලඳීමෙන් පුද්ගලයන් 08 දෙනකු මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී පෙරේදා (25දා) පැවති පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මින් 04 දෙනෙකු කොවිඩ් වයිරසය වැලඳී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර අනික් සිව්දෙනා නිවෙස්වලදී මියගොස් ඇත. නිවෙස්වලදී මියගිය සිව්දෙනා මිය යාමෙන් පසුව කරණු ලැබූ පී.සීආර්. පරීක්ෂණවලදී කොවිඩ් වයිරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇත.

මියගිය අය අතර කොවිඩ් පළමු එන්නත් ලබාගත් තිදරු මවක්ද සිටින බව හදිසි මරණ පරීක්ෂණයේ සාක්ෂි විභාගයේදී අනාවරණය විය. එම මව මකුළුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය උණ හා කැස්ස වැනි රෝග ලක්ෂණ හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව ඇති අතර රෝහලේදී කරනු ලැබූ පී.සීආර්. පරීක්ෂණයේදී කොවිඩ් වයිරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇත. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙකී තිදරු මව මියගොස් ඇත.

මියගිය අය අතර 68 හැවිරිදි වියේ පසුවන පෝද්දල ප්‍රදේශයේ පදිංචි පිරිමි අයෙක්ද සිටින අතර ඔහු දියවැඩියාව රෝගයෙන් පෙලුණු අයෙකි. ඔහු උණ හා උදරයේ ඇති වූ අබාධයක් නිසා රෝහල් ගත කොට ඇත. රෝහලේදී කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයේදී කොවිඩ් වයිරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇත.

හිරිඹුර ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි වියේ පසුවන සිව්දරු මවක්ද හුස්ම ගැනීමට අපහසු වී රෝහල් ගත කොට ඇති අතර ඇය කොවිඩ් වයිරසය ආසාදිත වී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මියගිය අනික් පුද්ගලයා ගිංතොට ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි වියේ පසුවන අයෙකි. ඔහු නිවස තුළදී මියගොස් ඇති අතර මියයාමෙන් පසුව කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයේදී කොවිඩ් වයිරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇත. කොවිඩ් වයිරසය ආසාදිත වී කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදරු මවක්ද මියගොස් ඇත. ඇය මොනරාගල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මේ අතර 23 හැවිරිදි වියේ පසුවන ඉමදූව වල්පල ප්‍රදේශයේ පදිංචි ආබාධිත තරුණයෙක්, අක්මීමන ගොනාමුල්ල ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි වියේ පසුවන හත්දරු පියෙකු, නාකියදෙණිය ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙකු නිවෙස්වලදී මියගොස් ඇත. මිය යාමෙන් පසුව කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණවලදී මොවුන්ට කොවිඩ් වයිරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇත.