සේලයින් ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවතයි

0
සේලයින් ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවතයි

විදේශයෙන් සේලයින් මිලදී ගැනීම ලබන සැප්තැම්බර් මස 1වැනිදායින් පසු සම්පූර්ණයෙන්ම නවත්වන බව ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

එදින සිට සේලයින් නිෂ්පාදනය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මෙරට පෞද්ගලික ආයතනයක් සමග එක්වී සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.

මේ කටයුත්ත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ ලැබුණු බව සඳහන් කළ රාජ්‍ය ඇමැතිවරයා මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක එම නිෂ්පාදන කටයුතු සිදුකරන බවද සඳහන් කළේය.

මේ අනුව රජයේ රෝහල්වලට අවශ්‍ය සියලුම සේලයින් මේ කර්මාන්ත ශාලාවේ නිපදවනු ඇත. එසේම නිපදවෙන සේලයින් කොටසක් විදේශයන්ට අපනයනය කිරීමට ද සැලසුම් කර තිබෙන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ‍ය.

සේලයින් මිලදී ගැනීම සඳහා විදේශයට ඇදී ගිය රුපියල් කෝටි 50ක් පමණ මුදලක් මේ රටේ ඉතිරි කර කර ගැනීමට මෙම වැඩපිළිවෙළින් බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් කීවේය.