තවත් තරගාවලි පරාජයකින් බේරීමේ සටනක් අද

0
SL vs IND 2nd T20 - තවත් තරගාවලි පරාජයකින් බේරීමේ සටනක් අද

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස ක‍්‍රිකට් තරගය අද (27 වැනිදා) රාත‍්‍රී 8.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර පැවැති පළමු තරගයෙන් ඉන්දියාව ජය ලැබීම හේතුවෙන් තරගාවලි පරාජයෙන් ගැලවීමට නම් ශ‍්‍රී ලංකාව අද (27 වැනිදා) තරගය ජය ගැනීම අනිවාර්ය වී තිබේ. යම් හෙයකින් අද (27 වැනිදා) තරගය පරාජය වුවහොත් ශ‍්‍රී ලංකාව නොකඩවා ලබන 6 වැනි විස්සයි විස්ස තරගාවලි පරාජය මෙය වනු ඇත.

දිගින් දිගටම විස්සයි විස්ස පිටියේ පරාජයන් රැල්ලකට මුහුණ පා සිටින ශ‍්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරග 15න් ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි. ඒ අතරින් තවත් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබේ.

ඉන්දියාව සමග පැවැති තුන්වැනි එක්දින තරගයේදී පන්දුව ඇගිල්ලේ වැදීම හේතුවෙන් භානුක රාජපක්ෂට ඉතිරි විස්සයි විස්ස තරග දෙක අහිමි වනු ඇති බවට වාර්තා වේ. එමෙන්ම පැතුම් නිශ්ශංකද ආබාධයකට ලක්ව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

මේ අතර පෙරේදා (25 වැනිදා) පැවැති තරගයේ පිතිහරඹයේ පන්දු 19කදී ලකුණු 9ක් පමණක් ලැබූ අශේන් බණ්ඩාරට කණ්ඩායමේ ස්ථානය අහිමි වනු ඇති බවට ආරංචි මාර්ග සඳහන් කර සිටින අතර ඒ වෙනුවට සධීර සමරවික‍්‍රමට අවස්ථාව හිමිවීමේ වැඩි ඉඩක් පවතී. තවද, දඟ පන්දු යවන ක‍්‍රීඩක අකිල ධනංජයට හෝ තුන් ඉරියව් ක‍්‍රීඩක ධනංජය ලක්ෂාන් යන දෙදෙනාගෙන් අයෙක්ට ද අද තරගයේ අවස්ථාවක් හිමි වන බවට ද සැලවේ.