“එනපොට හොඳ නෑ..” – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

0
Delta Variant in Sri Lanka -

බස්නාහිර පළාතේ කොවිඩ් රෝගීන්ගෙන් ලබාගත් සාම්පලවල 30% ක පමණ ඩෙල්ටා වෛරස් ප්‍රභේදය හඳුනාගෙන ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

අනික් ප්‍රභේදවලට වඩා වේගයෙන් මේක පැතිරෙන්නට ඉඩ තියෙනවා කියන එකත් ඉතාමත් පැහැදිලි. එවැනි තත්ත්වයක් තුළ අපිට අවශ්‍ය කරන දේ තමයි මේ රෝගය අසාදනය වන රෝගීන් සංඛ්‍යාව අවම කර ගැනීමටත් සමස්තයක් වශයෙන් ගත්තාම මේ රෝගය පැතීරීමට තියන ඉඩකඩ අවම කර ගැනීමත් තමයි අවශ්‍ය වන්නේ. මේ දක්වා ලංකාවේ කරලා තියන පරීක්ෂණවලින් පැහැදිලිව දීලා තියෙන ඇස්තමේන්තුව තමයි විශේෂයෙන් බස්නාහිර පළාතේ කොළඹ ප්‍රදේශයේ 20%ක් 30%ක් පමණ ප්‍රමාණයක් ඉන්න පුළුවන්. අනික් ප්‍රදේශවල ඊට අඩු වැඩි වශයෙන් වෙන්න පුළුවන්, නමුත් ඒ පිළිබඳව ස්ථිර වචනයක් මේ වනකොට ප්‍රකාශ කරන්න අමාරුයි. නමුත් අනිවාර්යෙන්ම ප්‍රභේදය තිබෙන බව බය නැතුව කියන්න පුළුවන්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා,

රටේ හැම තැනින්ම වගේ ඩෙල්ටා රෝගීන් වාර්තා වෙලා තියනවා. එතකොට ඒ වගේ තත්ත්වයක් යටතේ පළාත් සීමා පමණක් වසා තබා ගැනීම හරහා පළාතකින් පළාතකට මිනිසුන්ට යන්න බෑ. නමුත් ඒ පළාත ඇතුළත රෝගය බෝ වීමේ අවදානම පළාත් අතර සංචරණ සීමා පැමිණවීම මගින් එය වළක්වා ගැනීමට හැකිවන්නේ නෑ. මන් හිතන්නෙ ඊශ්‍රායලය පවා ෆයිසර් කියන වැක්සීන් එක පාවිච්චි කරපු රටක්. ඉතාම සීඝ්‍රයෙන් තමන්ගේ ජනතාව එන්නත් කරන ක්‍රියාවලිය සඳහා යොමු කරපු රටක්. නමුත් ඒ රටේ පවා මේ වනවිට මේ ඩෙල්ටා ප්‍රබේදය පැතිරීම ගැටලුවක් වෙලා තියෙනවා.

ද සොයිසා කාන්තා රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා,

කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට මට මුලින්ම කියන්න තියෙන්නේ අද දවසේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතනකොට එනපොට හොඳ නෑ කියන එක. අපි මේ දවස් ටිකේ වුණේ නැත්තන් අපි ඉතා අවාසනාවන්ත දින කීපයකට මුහුණ දෙමින් පවතිනවා. විශේෂයෙන් කොවිඩ් රෝගී තත්ත්වයත්, ඩෙංගු රෝගී තත්වයත් 2 ම රට පුරා එකම විදිහට පැතිරගෙන යනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ හොඳ වැක්සින් හොඳ වැක්සින් කිය කිය තමන් කැමති එක එනකන් ඉන්න එපා. හොඳම වැක්සින් එක තමයි මුලින්ම තමන්ට ලැබෙන වැක්සින් එක. මොකද අපි මාසෙකින් හොඳ වැක්සින් එකක් ගන්න ඉඳලා හෙට රෝගයට ගොදුරු වෙන්න පුළුවන්. ඒක නිසා අද අපට තියන වැක්සින් එකත් තමන්ගේ පළාතේ තමන්ගේ ප්‍රදේශයේ දෙන වැක්සින් එක ලබා ගන්න.

නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

අපේ ගෙදර ඉන්න රෝගී පුද්ගලයෝ වෙන්න පුළුවන් වයස්ගත පුද්ගලයෝ වෙන්න පුළුවන් ඕනෑම කෙනෙක් රෝගි තත්ත්වයට පත් වුණහොත් ගෙදර බලාගෙන ඉන්න එපා. හැකි ඉක්මනින් රෝහලකට ගෙනල්ලා ඒ ප්‍රතිකාර ලබා ගැනිමට රෝගය තියෙන්නේ මොකක්ද කියලා දැන ගැනීම සඳහා රෝග විනිශ්ච කටයුතු සඳහා යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා.

(newsfirst.lk වෙබ් අඩවිය ඇසුරිනි)