ඉදිරි පැය 36 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

0
මි.මී 100 ඉක්මවු වැසි

ඉදිරි පැය 36 තුලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, සබරගමුව, මධ්‍යම, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර මෙන්ම, පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා.

ඒ අනුව එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුල රැඳී සිටිය යුතුයි.

කුඹුරු තේ වතු ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසට ද දැනුම් දෙනවා.

රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වැළකිය යුතුයි.

බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් ද වැළකිය යුතු බවටයි ජනතාවට දැනුම්දෙන්නේ. තද සුළං හේතුවෙන් ගස් සහ විදුලි රැහැන් බිම ඇද  වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසට සහ හදිසි අවස්ථාවකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.